වැවක දිය නෑමට ගිය ගුරුවරයෙකුට හා සිසුවෙකුට දිවි අහිමිවෙයි! තඹුත්තේගම හෙල්ලූ කනගාටුදායක පුවත..
අනුරාධපුර, තඹුත්තේගම ප්‍රදේශයෙන් අතිශය කනගාටුදායක පුවතක් වාර්තාවුණා. ඒ, තඹුත්තේගම නල්ලච්චිය වැවේ වාරි ඇළක දිය නෑමට ගිය උපකාරක පන්ති ගුරුවරයෙකු හා සිසුවෙකු දියේ ගිලී ජීවිතක්ෂයට පත්වීමේ සිදුවීමක්.
මෙම අවාසනාවන්ත සිදුවීමෙන් ජීවිතක්ෂයට පත්වෙලා තිබෙන්නේ තඹුත්තේගම, බැදිවැව පදිංචිව සිටි 29 හැවිරිදි එල්.ඩබ්. ධනුෂ්ක උදයංග නැමති උපකාරක පන්ති ගුරුවරයෙකු හා අනුරාධපුර, තිබිරියාකඩවල පදිංචිව සිටි 19 හැවිරිදි හේෂාන් දසුන් නැමති පාසල් සිසුවෙකි.
පොලිසිය පවසන පරිදි මොවුන් දෙදෙනා ඊයේ (18) සවස උපකාරක පන්ති අවසන් වීමෙන් පසුව නල්ලච්චිය වැවෙන් ජලය සපයන ඇළ මාර්ගයක දියනෑමට ගොස් තිබෙනවා.
එහිදී දෙදෙනාම දියේ ගිලී ජල පහරට ගසාගෙන ගොස් ඇතිබව වාර්තාවුණා.
මොවුන් ගසාගෙන යන අයුරු මීටර් 300ක් පමණ පහළින් දිය නාමින් සිටි පිරිසක් දැක ඇති අතර, ඔවුන් වහාම ක්‍රියාත්මක වී ගුරුවරයා හා සිසුවාව ගොඩටගෙන තිබෙනවා.
පසුව පෞද්ගලික ලොරි රථයකින් ඔවුන්ව වහාම තඹුත්තේගම මූලික රෝහලට ඇතුළත් කරන විටත් ඔවුන් ජීවිතය හැරගොස් තිබෙනවා.
එක් මොහොතක නොසලකා හැරීමක් නිසා වටිනා තරුණ ජීවිත දෙකක් මෙලෙස දැයට අහිමි වී තිබෙනවා.
තඹුත්තේගම පොලිසිය මේ පිළිබඳව වැඩිදුර පරීක්ෂණ පවත්වනු ලබනවා.