ඉන්දීය උප ජනාධිපති දිවයිනට පැමිණෙයි! කටුනායක අධිවේගී මාර්ගයේ හා කොළඹ විශේෂ රථ වාහන සැලැස්මක්..
ඉන්දීය උප ජනාධිපති සී. පී. රාධක්‍රිෂ්ණන් (C. P. Radhakrishnan) දෙදින නිල සංචාරයක් සඳහා මීට සුළු මොහොතකට පෙර දිවයිනට පැමිණියා.
මෙම සංචාරය දෙරට අතර සබඳතා තවදුරටත් ශක්තිමත් කෙරෙන තීරණාත්මක සංචාරයක් වේවි.
හෙට දිනය දක්වා මෙරට රැඳී සිටින ඉන්දීය උප ජනාධිපතිවරයා, ජනාධිපති අනුර කුමාර දිසානායක හා අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය සමඟ ද්විපාර්ශ්වික සාකච්ඡා පැවැත්වීමට නියමිතව තිබෙනවා.
විදේශ කටයුතු අමාත්‍යාංශය සඳහන් කළේ දෙරට අතර සහයෝගීතාව වැඩිකර ගැනීමේ අරමුණින් අවබෝධතා ගිවිසුම් ගණනාවක්ද මෙහිදී හුවමාරු කරගැනීමට නියමිතයි.
විශේෂයෙන් "දිට්වා" සුළි කුණාටුවෙන් පීඩාවටපත් වූවන් වෙනුවෙන් සිදුකෙරෙන පුනරුත්ථාපන කටයුතු හා සංවර්ධන ව්‍යාපෘති පිළිබඳව මෙහිදී වැඩි අවධානයක් යොමුකරනවා.
ඉන්දීය උප ජනාධිපතිවරයාගේ මේ නිල සංචාරය හේතුවෙන් කොළඹ නගරය තුළ හා කටුනායක අධිවේගී මාර්ගය අවට අද හා හෙට විශේෂ රථවාහන සැලැස්මක් ක්‍රියාත්මකවන බව පොලිස් මාධ්‍ය කොට්ඨාසය දැනුම් දෙනවා.
එම නිසා මාර්ගය භාවිතකරන රියදුරන්ට හා මගීන්ට විකල්ප මාර්ග භාවිතකරන ලෙසත්, සිදුවන ප්‍රමාදයන් පිළිබඳව අවධානය යොමුකරන ලෙසත් පොලිසිය ඉල්ලා සිටිනවා.
ඉන්දීය රජයේ ඉහළ පෙළේ දූත පිරිසක්ද මෙම සංචාරය සඳහා උප ජනාධිපතිවරයා සමඟ එක්ව සිටිනවා.