සැලසුම් සහගතව නිවසට පෙට්‍රල් දමා ගිනි තැබුවාද? මව හා දියණියට පසු නිවසේ හිමිකරුත් ජීවිතක්ෂයට..
Sunday, 19 April 2026 - 10:36 | Views - 115

මහරගම, පමුණුව ප්‍රදේශයේ දෙමහල් නිවසක ඉහළ මහලට කිසියම් පිරිසක් විසින් ගිනි තබා සිදුකළ අතිශය සාහසික අපරාධයෙන් මියගිය සංඛ්‍යාව මේ වන විට තිදෙනෙකු දක්වා ඉහළ ගොස් තිබෙනවා.
ඊයේ (18) රාත්‍රියේ සිදුවූ මෙම බියකරු ගිනි තැබීමෙන් බරපතළ පිළිස්සුම් තුවාල ලබා රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් සිටි 76 හැවිරිදි නිවසේ හිමිකරු ද මීට සුළු මොහොතකට පෙර ජීවිතක්ෂයට පත්වූ බව වාර්තාවුණා.
මෙම අපරාධයෙන් එම නිවසේ කුලී පදනම මත පදිංචිව සිටි අවුරුදු 55ක් වූ මවක් සහ ඇගේ 16 හැවිරිදි දියණිය එම ස්ථානයේදීම ජීවිතක්ෂයට පත්වුණා.
නිවස ගිනිගැනීමට ලක්වීමෙන් පසු අසල්වැසියන් එක්ව ගින්න නිවා දැමීමට කටයුතු කර තිබූ අතර, නිවස පරීක්ෂා කිරීමේදී එක් කාමරයක් තුළ තිබී මෙම කාන්තාවන් දෙදෙනාගේ මළ සිරුරු හමුවී තිබෙනවා.
ගින්නෙන් බරපතළ පිළිස්සුම් තුවාල ලැබූ මියගිය දැරියගේ පියා මේ වන විට රෝහල්ගතව දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබනවා.
ඔහුද ඉතා අසාධ්‍ය තත්ත්වයෙන් පසුවන බවයි රෝහල් ආරංචි මාර්ග සඳහන්කළා.
පොලිස් විමර්ශනවලදී අනාවරණය වී ඇත්තේ අපරාධය සිදුවූ ස්ථානයේ දැඩි ලෙස පෙට්‍රල් ගඳ වහනය වන බවයි.
ඒ අනුව මෙය අහඹු ලෙස සිදුවූ ගින්නක් නොව, කිසියම් පිරිසක් විසින් නිවසට පෙට්‍රල් දමා ගිනි තබා සිදුකළ සැලසුම් සහගත මනුෂ්‍ය ඝාතනයක් බවට පොලිසිය සැකකරනවා.
ඝාතනය සිදුකිරීමට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති අතර, පමුණුව පාර, එක්සත් සුබ සාධක මාවතේ පිහිටි මෙම නිවසට ගිනි තැබූ සාහසිකයින් සොයා මහරගම පොලිසිය පුළුල් විමර්ශන ක්‍රියාත්මකකර තිබෙනවා.
Share This Article