ශ්‍රී ලංකා ක්‍රිකට් තීරණාත්මක වෙයි! ක්‍රීඩකයින්ගේ විනය රකින්න ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයෙන් නව කොන්ත්‍රාත් ගිවිසුමක්.
Sunday, 19 April 2026 - 8:15 | Views - 56

ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයින්ගේ විනය හා වෘත්තීය ගරුත්වය ඉහළ නැංවීමේ අරමුණින්, නව ජාතික කොන්ත්‍රාත් ගිවිසුම සඳහා ඉතා දැඩි කොන්දේසි කිහිපයක් එකතු කරන්නට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පියවර අරගෙන තිබෙනවා.
පසුගිය මාර්තු 31 වැනිදායින් පැරණි ගිවිසුම් කාලය අවසන් වූ අතර, නව ගිවිසුම් දැන් ක්‍රීඩකයින් වෙත භාරදී අවසන්.
මෙම නව නීති මාලාව ක්‍රීඩකයින්ට පමණක් නොව, පුහුණු කාර්ය මණ්ඩලයටද එකලෙස බලපැවැත්වෙනවා.
මෙහිදී වඩාත්ම අවධානයට ලක්වූ කරුණක් වන්නේ තරගාවලි අතරතුර ලිංගික ක්‍රියාකාරකම් සම්බන්ධයෙන් පනවා ඇති වාරණයයි.
කණ්ඩායමේ රහස් තොරතුරු ලබා ගැනීමට හෝ තරග පාවාදීම් සඳහා පොළඹවා ගැනීමට විවිධ පාර්ශවයන් විසින් "ලිංගික පෙලඹවීම්" යොදාගැනීමේ අවදානම මඟහරවා ගැනීම මෙහි ප්‍රධාන අරමුණයි.
ඒ අනුව, තරගාවලි අතරතුර ක්‍රීඩකයින්ට හා පුහුණුකරුවන්ට අවසර හිමි වන්නේ සිය වෘත්තීය වගකීම්වලට බාධාවක් නොවන පරිදි තම සහකාරිය සමඟ පමණක් සබඳතා පැවැත්වීමටයි.
ක්‍රීඩකයින්ගේ වෘත්තීය පෙනුම (Professional Look) ආරක්ෂාකර ගැනීම සඳහා නවසීමා රැසක් පනවලා තිබෙනවා.
තරග, පුහුණුවීම් හෝ සංචාර අතරවාරයේදී ස්ටඩ් හෝ වෙනත් කරාබු පැළඳීම සහමුලින්ම තහනම් කරලා තිබෙනවා.
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයවෙත නිලධාරීන් හමුවීමට පැමිණීමේදී කොට කලිසම් හා සෙරෙප්පු පැළඳ පැමිණීමට මින්පසු අවසර ලැබෙන්නේ නැහැ.
සමාජ මාධ්‍ය තුළ කණ්ඩායමේ සහජීවනයට බාධාවන අයුරින් කටයුතු කිරීම මෙන්ම, මුදල්ගෙවා තමන්ගේ ප්‍රතිරූපය ප්‍රවර්ධනය කරගැනීමද තහනම් කරලා තිබෙනවා.
එසේම, ඕනෑම අවස්ථාවක අසභ්‍ය වචන භාවිතය තහනම්වන අතර, එවැනි වරදක් සිදුකළහොත් දඩ මුදල් පැනවීමට කණ්ඩායම් කළමනාකරුට පූර්ණ බලය පවරලා තිබෙනවා.
සටහන: හිරු ප්‍රවෘත්ති ඇසුරෙන්.
Share This Article