අවුරුදු සතුට මාරකයක් වෙයි. දින 6කදී දියේ ගිලී 26ක් මරුට.
අලුත් අවුරුදු නිවාඩුවත් සමඟ විනෝද වීමට ජලස්නානයට ගිය පිරිස් අතරින් පසුගිය දින 6 තුළ පමණක් පුද්ගල මරණ 26ක් වාර්තාවෙලා තිබෙනවා.
පසුගිය 12 වැනිදා සිට ඊයේ (17) දක්වා කාලය තුළ මේ අවාසනාවන්ත මරණ සිදුවී තිබෙනවා.
ඊයේ දිනයේත් දිවයිනේ ප්‍රදේශ දෙකකින් මාරක දියේ ගිලීම් දෙකක් වාර්තාවුණා.
මිහින්තලය - මරදන්කුලම වැවේ දිය නෑමට ගිය 55 හැවිරිදි පියෙකු මෙලෙස අවාසනාවන්ත ලෙස ජීවිතක්ෂයට පත්වලා තිබෙනවා.
සිය 11 හැවිරිදි පුත්‍රයා හා තවත් 12 හැවිරිදි දරුවෙකු වැවේ ගිලෙන්නට යන අවස්ථාවේදී ඔවුන් බේරා ගැනීමට උත්සාහ කිරීමේදී මේ අනතුරට ලක්වුණා.
දරුවන් දෙදෙනා නිරුපද්‍රිතව බේරා ගැනීමට හැකි වුවත්, ඒ වෙනුවෙන් එම පියාට සිය ජීවිතයෙන් වන්දි ගෙවීමට සිදුවුණා.
මේ අතර, දෙහිඕවිට - හිඟුරලකන්ද ප්‍රදේශයේදී සීතාවක ගඟේ දිය නාමින් සිටි 17 හැවිරිදි තරුණයෙකු දියේ ගිලී මියගොස් තිබෙනවා.
මොහු අවුරුදු නිවාඩුවට ඥාති නිවසකට පැමිණි අවස්ථාවේදී මේ අනතුරට මුහුණදී ඇති බව පොලිසිය පැවසුවා.
උත්සව සමය තුළ ජලයට බැසීමේදී වඩාත් කල්පනාකාරී වන ලෙසත්, ආගන්තුක ජලාශවල දිය නෑමෙන් වළකින ලෙසත් බලධාරීන් මහජනතාවගෙන් ඉල්ලා සිටිනවා.