බේරුවල වරායේදී මුහුදට පැන අතුරුදහන් වූ තරුණයාගේ මළසිරුර අද උදෑසන හමුවෙයි..
බේරුවල ධීවර වරාය පරිශ්‍රයෙන් ඊයේ වාර්තාවුණු ඒ නොසන්සුන් පුවතේ අවසානය අද අතිශය දුක්බර ලෙස සනිටුහන් වෙලා තිබෙනවා.
පොලිස් මෙහෙයුමක් අතරතුරදී මුහුදට පැන අතුරුදහන්වූ තරුණයාගේ මළසිරුර අද (18) උදෑසන සොයාගෙන ඇතිබව වාර්තාවුණා.
බේරුවල වරාය තුළ සිදුවන මත්ද්‍රව්‍ය ජාවාරම් මැඩලීම සඳහා ඊයේ (17) පස්වරුවේ විශේෂ පොලිස් සෝදිසි මෙහෙයුමක් ක්‍රියාත්මක කරලා තිබෙනවා.
එම අවස්ථාවේදී එහි තිබූ බහුදින ධීවර යාත්‍රාවක රැඳීසිටි මේ තරුණයා, පොලිස් නිලධාරීන් දැක බියවී ඔවුන්ගෙන් බේරීම සඳහා මුහුදට පැන තිබෙනවා.
මුහුදට පැන වෙනත් යාත්‍රාවක් දෙසට පිහිනා යාමට ඔහු උත්සාහ කර ඇති බව පරීක්ෂණවලදී අනාවරණය වුණා.
එහෙත් එම උත්සාහයේදී ඔහු දියේ ගිලී අතුරුදහන්ව තිබෙනවා. අද උදෑසන ඔහුගේ සිරුර හමුවී ඇත්තේ ඔහු දියේ ගිලුණු ස්ථානයේ සිට මීටර් 200ක් පමණ දුරින් වරාය පරිශ්‍රයේ තිබියදීයි.
මියගිය තරුණයා කළුතර, වස්කඩුව ප්‍රදේශයේ පදිංචිකරුවෙක්. පොලිසිය පවසන පරිදි මොහු වරාය තුළ මත්ද්‍රව්‍ය බෙදාහරින හා මත්ද්‍රව්‍යවලට තදින්ම ඇබ්බැහිවූවෙකු ලෙස හඳුනාගෙන තිබෙනවා.
කළුතර අපරාධ ස්ථාන පරීක්ෂණ නිලධාරීන් සහ බේරුවල පොලිසිය මේ වන විටත් සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන පවත්වමින් සිටිනවා.
සටහන: හිරු ප්‍රවෘත්ති ඇසුරින්.