ලංගම ඉතිහාසය අලුත් වෙයි! අවුරුදු සතියේ ආදායම බිලියනය පනී. මගීන් ලක්ෂ 20ක් ගම්බිම් බලා.
Friday, 17 April 2026 - 11:52 | Views - 210

මෙවර සිංහල සහ දමිළ අලුත් අවුරුදු සමය වෙනුවෙන් ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය ක්‍රියාත්මක කළ විශේෂ ප්‍රවාහන සේවය හරහා ඉතිහාසගත ආදායම් වාර්තාවක් තැබීමට සමත්වෙලා තිබෙනවා.
දින 06ක් වැනි කෙටි කාලයක් තුළ රුපියල් බිලියනයකට අධික ආදායමක් උපයාගත් බව ලංගම සභාපති සජීව නන්දන කනකරත්න පැවසුවා.
පසුගිය අප්‍රේල් 08 වැනිදා සිට ආරම්භ වූ මෙම විශේෂ සැලැස්ම යටතේ දිනෙන් දින ඉහළ ගිය ආදායම් වාර්තාවන් මෙසේයි,
අප්‍රේල් 08 - මිලියන 163
අප්‍රේල් 09 - මිලියන 173
අප්‍රේල් 10 - මිලියන 193
අප්‍රේල් 11 - මිලියන 213 (ලංගම ඉතිහාසයේ එක් දිනකදී ලැබූ වැඩිම ආදායම)
විශේෂයෙන්ම කොළඹ සිට වතුකරය දක්වා ධාවනය වූ බස් රථවලින් පමණක් රුපියල් දෙකෝටි එක් ලක්ෂයක ආදායමක් හිමි වී තිබීම සුවිශේෂී කරුණකි.
සාමාන්‍ය දිනකදී ලංගම බස්රථ මගීන් මිලියනයක් පමණ ප්‍රවාහනය කරන නමුත්, අප්‍රේල් 11 වැනිදා බස්රථ 4,698ක් ධාවනයට එක් කරමින් මගීන් ලක්ෂ 20කට ආසන්න පිරිසකට සේවා සැපයීමට හැකිවෙලා තිබෙනවා.
නිසි කළමනාකාරිත්වය හා සේවක කැපවීම මත මේ ජයග්‍රහණය ලැබූ බව සභාපතිවරයා අවධාරණය කළා.
"දිට්වා" සුළි කුණාටුව හේතුවෙන් ඇතිවූ ආපදා තත්ත්වය මත දුම්රිය ධාවනයට බාධා එල්ලවූ අතර, ඒ හේතුවෙන් අපහසුතාවයට පත් මගීන් වෙනුවෙන් පිට පළාත්වලින් බස්රථ 1,500ක් කොළඹට කැඳවීමට ලංගම පියවරගෙන තිබුණා.
පසුගිය 15 වැනිදා සිට ආරම්භ වූ කොළඹ බලා පැමිණෙන මගී ප්‍රවාහන සැලැස්ම එළඹෙන 21 වැනිදා දක්වා අඛණ්ඩව ක්‍රියාත්මක කිරීමට සියලු කටයුතු සූදානම් කර ඇති බවද ලංගම වැඩිදුරටත් සඳහන් කළා.
Share This Article