පැබ්ලෝ එස්කොබාර්ගේ පරිසර කාල බෝම්බය..'කොකේන් හිපපොටේමස්' සතුන් මරා දැමීමට කොලොම්බියාව සැරසෙයි.
ලොව කුප්‍රකට මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වූ පැබ්ලෝ එස්කොබාර් මියගොස් වසර 30ක් ගත වුවද, ඔහු විසින් ඉතිරි කර ගිය අපූරු නමුත් භයානක උරුමයක් නිසා කොලොම්බියානු රජය මේ වනවිට දැඩි අර්බුදයකට මුහුණදී සිටිනවා.
ඒ තමයි එස්කොබාර්ගේ පෞද්ගලික සත්වෝද්‍යානයෙන් බෝවුණු දැන් 'කොකේන් හිපපොටේමස්' (Cocaine Hippos) ලෙස හඳුන්වන සතුන් පාලනය කර ගැනීමට නොහැකි වීමයි.
දශක ගණනාවක සාකච්ඡාවලින් පසු, කොලොම්බියානු රජය විසින් මෙම හිපපොටේමස් සතුන්ගෙන් 80 දෙනෙකු ඝාතනය කිරීමට සැලසුම් කර ඇති බව නිවේදනය කරලා තිබෙනවා.
"අපි මේ පියවර ගත්තේ නැත්නම්, අපේ පරිසර පද්ධතිය ආරක්ෂා කර ගන්න බැරි වෙනවා," යනුවෙන් එරට පරිසර අමාත්‍යවරිය පවසා තිබෙනවා.
1980 ගණන්වල එස්කොබාර් විසින් අප්‍රිකාවෙන් ගෙන ආ හිපපොටේමස් සතුන් හතර දෙනෙකුගෙන් ආරම්භ වූ මෙම ගහනය, අද වන විට 250ක් දක්වා වර්ධනය වී තිබෙනවා.
මොවුන් මෙතරම් ව්‍යාප්ත වීමට හේතු කිහිපයක් තිබෙනවා. ඒ තමයි කොලොම්බියාවේ මොවුන්ව දඩයම් කිරීමට ස්වාභාවික විලෝපිකයන් නොමැති වීම, අප්‍රිකාවේ මෙන් නොව, කොලොම්බියාවේ මැග්ඩලීනා ගංගා ද්‍රෝණියේ පවතින සුවදායක දේශගුණය නිසා ඔවුන් වේගයෙන් වර්ධනය වෙනවා.
මොවුන්ගේ මළපහ ජලයට එකතු වීමෙන් ජලයේ රසායනික සංයුතිය වෙනස් වන අතර, එය මසුන්ට සහ අනෙකුත් දේශීය සතුන්ට මාරාන්තිකයි.
මෙම සතුන් මරා දැමීමේ තීරණයට සත්ව හිමිකම් සංවිධාන දැඩි විරෝධයක් දක්වනවා. ඔවුන් යෝජනා කරන්නේ සතුන් වන්ධ්‍යාකරණය (Sterilization) කළයුතු බවයි.
ටොන් 5ක් බරැති මෙම ආක්‍රමණශීලී සතුන් අල්ලා සැත්කම් කිරීම ඉතාමත් අනතුරුදායක මෙන්ම වියදම් අධික කාර්‍යයක් බව නමුත් පශු වෛද්‍යවරුන් පවසනවා.
අප්‍රිකාවේ වසරකට මිනිසුන් 500ක් පමණ හිපෝ ප්‍රහාරවලින් මියයනවා. කොලොම්බියාවේ තවමත් මාරාන්තික ප්‍රහාර වාර්තා වෙලා නැතිවුනත්, මෙම සතුන් ජනාවාස වෙත සමීපවීම නිසා විශාල අවදානමක් පවතින බව විද්‍යාඥයින් අනතුරු අඟවනවා.
පැබ්ලෝ එස්කොබාර් මියගොස් වසර ගණනාවකට පසුවත්, ඔහු විසින් ඇති කළ මෙම 'පරිසර කාල බෝම්බය' කොලොම්බියාවේ අනාගතය පිළිබඳ බරපතළ ප්‍රශ්නාර්ථයක් ඉතිරි කරලා තිබෙනවා.