කෝටි 2ක සන්නිවේදන උපකරණ එක්ක චීන ජාතිකයින් 9ක් කටුනායකදී කොටුවෙයි!
Thursday, 16 April 2026 - 9:06 | Views - 187

පරිගණක මූල්‍ය අපරාධ සිදුකිරීමේ අරමුණින් මෙරටට පැමිණි බවට සැක කෙරෙන චීන ජාතිකයන් 9 දෙනෙකු අද (16) අලුයම කටුනායක ගුවන් තොටුපොළේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඔවුන් සතුව තිබී රුපියල් දෙකෝටි හතලිස් ලක්ෂ විසි දහසක් (24,020,000) පමණ වටිනා අතිනවීන විද්‍යුත් සන්නිවේදන උපකරණ තොගයක් රේගු නිලධාරීන් විසින් සොයාගෙන ඇති බවයි වාර්තාවෙන්නේ.
චීනයේ කුංමිං නුවර සිට අද අලුයම 12.25 ට චයිනා ඊස්ටන් ගුවන් සේවයට අයත් එම්.යූ.- 6912 දරන ගුවන් යානයෙන් තමයි මේ පිරිස මෙරටට පැමිණ තිබුණේ.
ඔවුන්ගේ හැසිරීම ගැන ඇතිවුණු සැකය මත සිදුකළ පරීක්ෂාවකදී තමයි මේ මහා පරිමාණ උපකරණ තොගය හමුවෙලා තිබෙන්නේ.
වඩාත්ම පුදුම හිතෙන කාරණය තමයි මේ උපකරණ ඔවුන් සඟවාගෙන ආපු විදිහ. තමන්ගේ සිරුරේ සහ ඇඳුම් ඇතුළේ සූක්ෂම ලෙස සඟවාගෙන ජංගම දුරකථන 383ක්, ටැබ් පරිගණක 101ක් හා තවත් අමතර සන්නිවේදන උපකරණ රැසක් ගෙනැවිත් තිබෙනවා.
මූලික විමර්ශන වලදී අනාවරණය වී ඇත්තේ මොවුන් මෙම උපකරණ භාවිතා කරමින් මෙරට තුළ රැඳී සිටිමින් විවිධ පරිගණක මූල්‍ය අපරාධ (Online Financial Frauds) සිදුකිරීමට සැලසුම්කර ඇති බවයි.
මේ සම්බන්ධයෙන් ගුවන්තොටුපොළ බලධාරීන් හා පොලීසිය වැඩිදුර විමර්ශන ආරම්භකර තිබෙනවා.
සටහන: කටුනායක ගුවන්තොටුපළ හිරු වාර්තාකරු ඇසුරිනි.
Share This Article