ලෝකයක් නැළවූ ඒ මධුර ස්වරය නිහඬ වෙයි.. Asha Bhosle සියවස් ගමන නිමාකර සමුගනී!
මුළු ලෝකයම ආදරය කරපු, දශක අටකට අධික කාලයක් ඉන්දියානු සිනමාව තමන්ගේ හඬින් රජ කරවපු ඒ අසහාය ගායන මහා රැජින, ආශා බෝස්ලේ (Asha Bhosle) අපෙන් සමුගෙන තිබෙනවා.
මුම්බායි නුවර බ්‍රීච් කැන්ඩි (Breach Candy) රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී, ඉන්ද්‍රියයන් අක්‍රිය වීම හේතුවෙන් අද දින ඇය අභාවප්‍රාප්ත වූ බවයි රෝහල් ආරංචි මාර්ග තහවුරු කරන්නේ. මියයන විට ඇය 92 වැනිවියේ පසුවුණා.
1933 සැප්තැම්බර් 8 වැනිදා උපත ලැබූ ආශා, සිය ප්‍රථම ගීතය ගායනා කළේ වයස අවුරුදු 10දීයි. එතැන් පටන් දශක අටක් පුරා ඇය ගැයූ ගීත සංඛ්‍යාව 12,000කට අධිකයි. ලෝක සංගීත ඉතිහාසයේ වැඩිම කාලයක් ගායන ක්ෂේත්‍රයේ රැඳී සිටි ගායිකාව ලෙසත් ඇය ඉතිහාසගත වෙනවා.
ආශාගේ හඬේ තිබුණු ඒ සුවිශේෂී දඟකාර බව වගේම ප්‍රේමණීය බව නිසාම ඇයගේ ගීත පරම්පරා ගණනාවක් තිස්සේ රසික හිත්වල ලැගුම් ගත්තා. ඇය සහ ඇයගේ සොහොයුරිය වූ ලතා මංගෙෂ්කාර් දශක හතක් තිස්සේ බොලිවුඩ් සිනමාවේ හඬ පාලනය කළා කිව්වොත් නිවැරදියි.
මීනා කුමාරි, මධුබාලා, සීනත් අමාන්ගේ සිට කාජල් සහ උර්මිලා මාතොන්ඩ්කර් දක්වා පරම්පරා කිහිපයක නිළියන් වෙනුවෙන් ඇය පසුබිම් ගායනයෙන් දායක වුණා.
"Abhi Na Jao Chhod Kar, In Ankhon Ki Masti, Piya Tu Ab to Aaja, Zara Sa Jhoom Loon Main" වගේ ගීත අදටත් ඕනෑම සාදයක හෝ ප්‍රසංගයක නැතුවම බැරි ගීත බවට පත්වෙලා තිබෙනවා.
ඇයගේ සමුගැනීම ඉන්දියානු සිනමාවට පමණක් නොව සමස්ත ලෝක සංගීත ලෝලීන්ටම පිරවිය නොහැකි අඩුවක්.