අවුරුදු කුමරිය එදා සහ අද.. අවුරුදු කුමරිය තරගවල අද දකින අමිහිරි වෙනස!
Saturday, 11 April 2026 - 15:02 | Views - 431

සිංහල සහ හින්දු අලුත් අවුරුද්ද කියන්නේ ශ්‍රී ලාංකීය අපේ අනන්‍යතාවය ලොවටම පෙන්වන උතුම්ම සංස්කෘතික මංගල්‍යයයි.
මේ උත්සවයේ තියෙන ප්‍රධානම සහ ආකර්ෂණීයම අංගය තමයි "අවුරුදු කුමරිය" තේරීම. හැබැයි අද වෙද්දී මේ සුන්දර සංස්කෘතික අංගය වාණිජමය රැල්ලට හසුවෙලා විකෘති වෙමින් පවතිනවාද කියන එක ගැන අපි හැමෝම ගැඹුරින් හිතන්න ඕනේ කාලය දැන් ඇවිත්.
අපි ටිකක් අතීතයට ගිහින් බැලුවොත්, එදා "අවුරුදු කුමරිය" කියන නාමයෙන් අපේක්ෂා කළේ වෙනස්ම අර්ථයක්. ඒ කාලේ කුමරියක් තේරීමේදී මූලික වුණේ රූප සෝභාව විතරක් නෙවෙයි. ඇගේ විනීත බව, කතාබහේ තැන්පත්කම සහ ලාංකීය කාන්තාවකට ආවේණික වූ ඒ සංස්කෘතික හැදියාවයි.
සම්ප්‍රදායික රෙද්දයි හැට්ටෙයි ඇඳලා, චාම් ආභරණවලින් සැරසුණු ඒ තරුණියන්ගෙන් දිස්වුණේ අපේ රටේ ගෞරවනීය පෙනුමයි. එය අපේ අනාගත පරපුරට ආදර්ශයක් වුණු, දෑස් නිවන සුන්දර දසුනක්.
හැබැයි වර්තමානයේ ඇතැම් අවුරුදු කුමරිය තරග දෙස බලද්දී අපිට දකින්න ලැබෙන්නේ ඊට වඩා හාත්පසින්ම වෙනස් පින්තූරයක්. අද බොහෝ තරග පවත්වන්නේ සංස්කෘතිය රැකීමට වඩා වාණිජමය වාසි සහ ප්‍රසිද්ධිය පෙරදැඩි කරගෙනයි.
ඇතැම් තරගවලදී කුමරියන් සැරසී සිටින ආකාරය දෙස බැලූ විට, එය අවුරුදු කුමරිය තරගයකට වඩා බටහිර පන්නයේ නිරූපණ දැක්මකට (Ramp Walk) සහභාගී වනවාක් වැනි හැඟීමක් ඇතිවෙනවා.
විශේෂයෙන්ම, ඇතැම් විලාසිතාවල දකින අඩ නිරුවත් බව හා සංස්කෘතික සීමාවන් ඉක්මවා යාම අපේ සාම්ප්‍රදායික රාමුවට කිසිසේත්ම ගැලපෙන්නේ නැහැ. සැබෑ අවුරුදු කුමරියකගෙන් බලාපොරොත්තු වන ඒ අහිංසක, විනීත පෙනුම වෙනුවට අද දකින්නට ලැබෙන්නේ කෘතිම බවයි.
අවුරුදු උත්සව කියන්නේ අපේ රටේ වටිනාකම් අනාගතයට අරන් යන ප්‍රධානම මාර්ගයයි. අවුරුදු කුමරිය කියන්නේ අපේ සංස්කෘතියේ කැඩපතයි, එය අනාගතයටත් රැකගැනීම අපගේ යුතුකමක් හා වගකීමක් වෙනවා.
Share This Article