ඉන්දීය ක්‍රිකට් ඉතිහාසයේ මංගල ටෙස්ට් ජයග්‍රහණයේ අවසන් සාක්ෂිකරුවා දිවි ගමනට සමුදෙයි..
ඉන්දීය ක්‍රිකට් ඉතිහාසය රන් අකුරින් ලියැවුණු සුවිශේෂී ජයග්‍රහණයක අවසන් සාක්ෂිකරුවා වූ සී.ඩී. ගෝපිනාත් ඊයේ දින (09) චෙන්නායිහිදී මෙලොව හැරගියා. ඔහු මියයන විට 96 වන වියේ පසුවුණා.
1952 වසරේදී එංගලන්ත කණ්ඩායම පරාජය කරමින් ඉන්දියාව සිය ටෙස්ට් ක්‍රිකට් ඉතිහාසයේ මංගල ජයග්‍රහණය වාර්තාකළා. එම ඓතිහාසික ජයග්‍රහණය ලැබූ කණ්ඩායමේ ක්‍රීඩකයින් 11 දෙනා අතුරින් ජීවත්ව සිටි එකම ක්‍රීඩකයා වුණේ ගෝපිනාත් පමණයි.
ඔහුගේ අභාවයත් සමඟ එම රන්වන් මතකයේ අවසන් සජීවී සාක්ෂිකරුවා ක්‍රිකට් ලොවට අහිමි වුණා.
මියයන විට ඔහු ඉන්දියාවේ වයස්ගතම ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩකයා ලෙස වාර්තා අතරට එක්වෙලා සිටියා. ඒ විතරක් නෙවෙයි, ඔස්ට්‍රේලියාවේ නීල් හාවිට (Neil Harvey) පසුව, ලොව ජීවත්ව සිටි දෙවන වයස්ගතම ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩකයා ලෙසද ඔහු ගෞරවයට පාත්‍රවෙලා තිබෙනවා.
1930 මාර්තු 1 වනදා උපත ලැබූ සී.ඩී. ගෝපිනාත් මහතා ඉන්දියාව වෙනුවෙන් ටෙස්ට් තරග 8කට ක්‍රීඩාකර තිබෙනවා. දක්ෂ පිතිකරුවෙක් මෙන්ම දක්ෂ පන්දු රකින්නෙක් ලෙසද ඔහු ක්‍රිකට් පිටියේ නමක් දිනාගෙන සිටියා.
ඔහුගේ අභාවය වෙනුවෙන් ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලය ඇතුළු ක්‍රීඩාලෝලීන් රැසක් සිය ශෝකය පළකරලා තිබෙනවා.