මනුෂ්‍යත්වය මතින් යන අසිරිමත් ගමන.. රුපියලක්වත් නැතුව ඉන්දියාව වටේයන අපූරු කෙල්ල කවුද?
අපි හැමෝම හීන දකින්නේ ලස්සනට ඇඳලා, සුපිරි වාහනවල නැගලා, තරු පහේ හෝටල්වල නවාතැන් අරන් සංචාරය කරන්නයි. හැබැයි ඒ හැම සම්ප්‍රදායකටම අභියෝග කරපු අපූරු තරුණියක් ගැන දැන් සමාජ මාධ්‍යවල ලොකු කතාබහක් ඇතිවෙලා තිබෙනවා.
ඇය නමින් සරස්වතී අයියර්. හැබැයි ඇයව ලෝකය හඳුනන්නේ "Safe Ladki" (ආරක්ෂිත යුවතිය) විදිහටයි.
වසර දෙකකට පෙර ඇය තමන් සතු සුවපහසු ආයතනික රැකියාවට ආයුබෝවන් කිව්වේ හිතේ තිබුණු ලොකු විශ්වාසයක් එක්කයි. සාක්කුවේ රුපියලක්වත් නැතුව රටක් ගවේෂණය කරන්න පුළුවන් කියලා කවුරුහරි කිව්වොත් ඔයාලා පිළිගන්නවද? සරස්වතී ඒක ප්‍රායෝගිකව කරලා පෙන්නනවා. ඇය සතුව තිබුණේ සාරි දෙකක්, කූඩාරමක් හා පවර් බෑන්ක් එකක් විතරයි.
සරස්වතීගේ ගමන රඳා පවතින්නේ මනුෂ්‍යත්වය මතයි. ඇයට සංචාරය කරන්න මුදල් ඕනේ නැහැ. ඇය කරන්නේ යනඑන ගමනේදී ගෙදර දොරේ වැඩට හෝ ගොවිතැනට උදව් කරනවා. ඒ වෙනුවෙන් ඇයට ලැබෙන ආහාරයෙන් කුසගින්න නිවාගන්නවා.
පන්සලක, ආශ්රමයක හෝ තමන්ගේ කුඩා කූඩාරමේ රාත්‍රිය ගතකරනවා. සෑම නැවතුමකදීම ඇය ඉගෙනගන්නේ කරුණාව හා විශ්වාසය පිළිබඳ මිලකළ නොහැකි පාඩම්..
බොහෝ දෙනෙක් හිතන්නේ තනි කාන්තාවකට ඉන්දියාව වැනි රටක සංචාරය කිරීම අනාරක්ෂිතයි කියලා. හැබැයි සරස්වතී ඒ මතය සම්පූර්ණයෙන්ම වෙනස්කළා. ලෝකය දකින්න මුදලට වඩා අවශ්‍ය වෙන්නේ ධෛර්යය, තමන්ගේ සහජ බුද්ධිය හා අවදිමත්බව කියලා ඇය පෙන්වාදෙනවා.
සරස්වතී කියන්නේ තවත් එක සංචාරකයෙක් විතරක්ම නෙවෙයි, ඇය නිදහසේ හා විශ්වාසයේ ජීවමාන සංකේතයක්.. ඒවගේම භෞතික සැප සම්පත් පස්සේ හඹායන ලෝකයක සැබෑ සතුට හා මිනිස් සබඳතා තියෙන්නේ කොතැනද කියලත් ඇය අපිට නිහඬවම කියලා දෙනවා.