පර්යේෂණ කටයුත්තක් අතරතුර ඇයට සිදුවුණේ කුමක්ද..? සිංගිමලේ අතරමං වූ ලූනා බේරාගත් මෙහෙයුම..
ලංකාවේ සුන්දරත්වය බලන්න ඇවිත් සිංගිමලේ රක්ෂිතයේ කඳු මුදුනක අතරමං වුණු විදේශීය තරුණියක් ගැන අද හැටන් ප්‍රදේශයෙන් වාර්තා වුණා. මේ සිද්ධිය නිසා මුළු ප්‍රදේශයම අද උණුසුම් වුණේ ඇයව බේරාගන්න පොලිසිය දියත් කරපු විශේෂ මෙහෙයුමත් එක්කයි.
නෙදර්ලන්තයේ ඇම්ස්ටර්ඩෑම් නුවර ඉඳන් පර්යේෂණ කටයුත්තකට ලංකාවට ආපු ලූනා ටූගට් කියන 20 හැවිරිදි තරුණිය මෙලෙස කරදරේ වැටිලා තිබෙනවා. ඇය රුහුණු විශ්වවිද්‍යාලයට අනුබද්ධව අධ්‍යාපන කටයුතු කරමින් ඉන්න අතරතුරයි මේ ගමන ඇවිත් තියෙන්නේ.
පසුගිය 5 වැනිදා හැටන් ප්‍රදේශයට ආපු ලූනා, ඊයේ උදේ තනිවම සිංගිමලේ රක්ෂිතයේ කඳු මුදුන බලන්න ගිහින් තිබෙනවා. හැබැයි කන්ද උඩට ගියාට පස්සේ ආපහු එන්න පාර හොයාගන්න බැරුව ඇය අසරණ වෙලා.
පස්සේ ඇය තමන් නවාතැන්ගෙන හිටපු රාජ්‍ය නොවන සංවිධාන කාර්යාලයේ නිලධාරීන්ට "මට දැන් පාර හොයාගන්න බැහැ, මම කන්ද උඩ අතරමං වෙලා" කියලා දුරකථනයෙන් දැනුම් දීලා තිබෙනවා.
තොරතුර ලැබුණු ගමන්ම හැටන් ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ප්‍රදීප් වීරසේකරගේ උපදෙස් මත විශේෂ කණ්ඩායමක් වහාම ක්‍රියාත්මක වුණා. දැඩි පරිශ්‍රමයක් දරලා රක්ෂිතය පීරපු පොලිස් නිලධාරීන්, අවසානයේ කඳු මුදුනේ හිටපු ලූනාව සොයාගත්තා.
පොලිස් නිලධාරීන් ඇයට අවශ්‍ය කෑම බීම එතනදීම ලබා දීලා, බොහොම පරිස්සමෙන් ඇයව පහළට ගෙනැවිත් තිබෙනවා.
තමන්ගේ ජීවිතය බේරගන්න ආපු හැටන් පොලිසියේ නිලධාරීන්ට "මම ඇත්තටම ගොඩක් බය වෙලා හිටියේ, මාව බේරගත්තට ලංකාවේ පොලිසියට ගොඩක් ස්තූතියි" කියලා ඇය හැඟුම්බරව පවසලා තිබෙනවා.