බිබිලෙ අති දුෂ්කර ඉස්කෝලෙක දරුවෝ හය දෙනෙක් මුළු ලංකාවම හෙල්ලූ හැටි.. ටියුෂන් නොගිය ඒ හය දෙනාම එක වරම විස්මිත ජයක් ලබයි.
අද අපි කියන්න යන්නේ හිතට ලොකු ආඩම්බරයක් වගේම පුදුමයක් දැනෙන කතාවක්. පහසුකම් තියෙන නගරබද ඉස්කෝල පවා පහුකරමින්, මොනරාගල දිස්ත්‍රික්කයේ අති දුෂ්කර ගමක තියෙන ඉස්කෝලයක් මුළු රටේම අවධානය දිනාගන්න සමත්වෙලා තිබෙනවා.
මේ කතාව බිබිල අධ්‍යාපන කලාපයේ, මැදගම කොට්ඨාසයේ පිහිටි කීනගොඩ මහා විද්‍යාලයෙන්.1953 අවුරුද්දේ ඉඳන් 2023 වෙනකම්ම කනිෂ්ඨ විද්‍යාලයක් විදිහට තිබ්බ මේ ඉස්කෝලේ, පළමු වතාවට උසස් පෙළ කලා අංශය ආරම්භ කරලා තියෙන්නේ 2023 වසරේදී.
ඒ අනුව 2025 වසරේදී තමයි මුල්ම කණ්ඩායම විභාගයට පෙනී හිටියේ. පුදුමේ කියන්නේ, කලා අංශයෙන් විභාගයට ලිව්ව සිසුන් හය දෙනාම විශිෂ්ට ලෙස සමත් වෙලා තිබෙනවා.
මේ ජයග්‍රහණය පිටුපස තියෙන්නේ ලේසි පහසු කතාවක් නෙවෙයි. මේ ඉස්කෝලෙට යන්න ගමට තියෙන්නේ එකම එක බස් එකයි. ඒ බස් එකේ ගියත් තව කිලෝමීටර් 2ක් පයින්ම යන්න වෙනවා.
මේ තරම් දුෂ්කරකම් මධ්‍යයේ ඉගෙන ගත්ත දරුවන් අතරින් එක් සිසුවියක් දිස්ත්‍රික්කයේ 12 වැනියා වෙමින් ඉහළම දස්කම් පෙන්වලා තිබෙනවා. පස් දෙනෙකුටම විශ්වවිද්‍යාල වරම් හිමිව තිබෙනවා.
මේ කතාවේ විශේෂම දේ තමයි මේ දරුවන් කිසිම උපකාරක පන්තියකට (Tuition) සහභාගී වෙලා නැහැ. විදුහල්පති ආර්.එම්. රංජිත් බණ්ඩාර මහතාගේ මඟපෙන්වීම යටතේ ගුරු මණ්ඩලය පාසලෙන් පසුවත් කිසිදු මුදලක් අයනොකර මේ දරුවන්ට උගන්වලා තියෙනවා.
සාමාර්ථ ලබාගත් දක්ෂ දරුවෝ මෙන්න,
ඩී. එම්. රංග සඳරුවන් හා ජී.එච්. පාරමී ලක්ෂිකා - A සාමාර්ථ තුනයි.
ඩී. එම්. සසිනි නිමේෂිකා හා ආර්. එම්. හෂිනී භාග්‍යා - A සාමාර්ථ දෙකක් හා B සාමාර්ථයක්.
ඩී.එම්. වරුණි තක්සලා - A සාමාර්ථ එකක් සහ B සාමාර්ථ දෙකක්.
උදේශිකා චතුරංගනී - B සාමාර්ථ තුනක්.
ඉතිහාසය, දේශපාලන විද්‍යාව හා බෞද්ධ ශිෂ්ඨාචාරය යන විෂයන්ගෙන් මේ දරුවන් දිනවන්න ශාලිකා රත්නායක, ජී.එම්. මදුශංඛ කුමාර හා ඩබ්.එම්. එම්. රුවන් කුමාර යන ගුරු මහත්ම මහත්මීන් අසීමිත කැපවීමක් කරලා තිබෙනවා.
ටියුෂන් සංස්කෘතියට අභියෝග කරමින්, දුෂ්කරකම් දිරියක් කරගත් මේ දරුවන්ට වගේම ගුරු මණ්ඩලයටත් මුලු රටටම ආදර්ශයක්.