මේ හැම සිද්ධියක්ම එකිනෙකට සම්බන්ධයිද..? වෙඩිල්ලේ සුලමුලෙන් එළියට ආ ඒ කතාව මෙන්න...
Wednesday, 19 November 2025 - 14:53 | Views - 120

දෙදෙනෙකු ජීවිතක්ෂයට පත් කරමින් තංගල්ල උණාකූරුව ප්‍රදේශයේ සිදු වූ වෙඩි තැබීම මෙහෙයවා ඇත්තේ සංවිධානාත්මක අපරාධකරුවෙකු ලෙස සැලකෙන කරන්දෙණිය සුද්දා නැමැත්තා බවට විමර්ශන වලදී අනාවරණය වී තිබෙනවා.
වෙඩි වැදී මියගොස් තිබුණේ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙක් වන උණාකූරුවේ ශාන්ත නමැත්තාගේ මාමා සහ නැන්දණියක් වන අතර වෙඩි තැබීම සඳහා මිලිමීටර් 09 වර්ගයේ ගිනි අවියක් භාවිත කර ඇති බවත් හෙළි වුණා.
යතුරුපැදියකින් පැමිණි දෙදෙනෙක් මිලිමීටර් 09 වර්ගයේ ගිනි අවියක් භාවිත කරමින් ඊයේ පස්වරුවේ මෙම වෙඩි තැබීම සිදු කර තිබුණේ තංගල්ල උනාකූරුව ප්‍රදේශයේ පිහිටි වෙළෙඳසැලක් තුළදීයි.
68 හැවිරිදි පුද්ගලයෙකු සහ 59 හැවිරිදි කාන්තාවක් එහිදී ජීවිතක්ෂයට පත් වූ අතර ඔවුන් අඹුසැමියන් බවයි පොලිසිය පැවසුවා.
ඔවුන් දැනට විදේශගතව සිටින උණාකූරුවේ ශාන්ත නමැත්තාගේ මාමා සහ නැන්දණියක බවද පොලිසිය පැවසුවා.
ජීවිතක්ෂයට පත් වූ යුවළ අදාල වෙළඳසැල පවත්වාගෙන ගොස් ඇති අතර එහි පැමිණි නාඳුනන වෙඩික්කරුවෙකු විසින් දුම්වැටියක් ඉල්ලා තිබෙනවා.
එය ලබාදීමෙන් පසුව තවත් භාන්ඩ කිහිපයක් ඉල්ලා ඇති අතර එය ලබාදීමට පැමිණි අවස්ථාවේදී වෙඩික්කරුවන් වෙඩි තබා පළා ගොස් තිබුණා.
මෙම ඝාතනය සැලසුම් කර ඇත්තේ සංවිධානාත්මක අපරාධකරුවෙකු ලෙස සැලකෙන සෝබනා හන්දි ජයලත් හෙවත් කරන්දෙණිය සුද්දා නැමැත්තා බවට විමර්ශනවලදී අනාවරණය වී තිබෙනවා.
අම්බලන්ගොඩ මෝදර දේවාල කමිටුවේ සභාපති මිරන්ත වරුෂවිතාන ඝාතනයට උණාකූරුවේ ශාන්ත නැමැත්තා විසින් ගිනි අවිය ලබා දී තිබූ බවට තොරතුරු වාර්තා වූ අතර ඊට පළිගැනීමක් ලෙස මෙලෙස උණාකූරුවේ ශාන්ත නමැත්තාගේ මාමා සහ නැන්දණියක ඝාතනය කර ඇති බවටයි පොලිසිය සැක පළ කරන්නේ.
එමෙන්ම වෙඩි ප්‍රහාරයෙන් ඝාතනයට ලක් වූ දෙදෙනා සංවිධානාත්මක අපරාධකරුවෙක් ලෙස සැලකෙන දෙහිබාලේ නැමැත්තාගේ මෙහෙයවීමෙන් දෙවිනුවර දේවාලය අසල වෙඩි තබා ඝාතනය කෙරුණු යොමේෂ් නැමති තරුණයාගේ සමීපතම ඥතීන්ද වන බව විමර්ශන නිලධාරීන් අනාවරණය කරගෙන තිබෙනවා.
වෙඩි තැබීම සිදු කළ වෙළඳසැල අසලට වෙඩික්කරුවන්ට යාම සඳහා මග පෙන්වා ඇත්තේ දෙහිබාලේ නැමැත්තාගේ පාර්ශවයෙන් බවටද පොලිසිය සැක කරනවා.
වෙඩික්කරුවන් පැමිණි යතුරුපැදිය වෙඩි තැබීම සිදුවු ස්ථානයට කිලෝමීටර් දෙකක් පමණ දුරකින් දමා ගොස් තිබියදි පොලිසිය විසින් ඊයේ රාත්‍රියේ සොයා ගැණුනා.
ඝාතන සිද්ධිය පිලිබඳ ස්ථානීය පරීක්ෂනය අද පෙරවරුවේ තංගල්ල ප්‍රධාන මහේස්ත්‍රාත්වරිය විසින් සිදු කළ අතර අනතුරුව මළ සිරුරු පශ්චාත් මරණ පරීක්ෂණ කටයුතු සඳහා තංගල්ල මූලික රෝහලට රැගෙන ගියා.
මේ අතර මිදිගම ප්‍රදේශයේ සංචාරක හෝටලයක හිමිකරු සහ ඔහුගේ පවුලේ ඥාතීන් ඝාතනය කිරීමේ සැලසුමක් සම්බන්ධයෙන් බස්නාහිර උතුරු අපරාධ කොට්ඨාසයේ අධ්යක්ෂ සහකාර පොලිස් අධිකාරි රොහාන් ඕලුගල මහතාට තොරතුරක් ලැබී තිබුණා.
ඒ අනුව විමර්ශන කණ්ඩායමක් අද අලුයම මිදිගම ප්‍රදේශයේදී විශේෂ මෙහෙයුමක් ආරම්භ කර තිබුණා.
ඒ අනුව මිදිගම ප්‍රදේශයේ නිවසක් වැටලීමට පොලිස් නිලධාරීන් කටයුතු කළ අතර එහිදී ටී56 ගිනි අවියක් සමග පුද්ගලයෙක් අත්අඩංගුවට ගැණුණා.
35 හැවිරිදි තංගල්ල ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වූ සැකකරු සන්තකයේ තිබී යතුරුපැදියක්ද පොලිස් භාරයට ගැණුනා.
සැකකරු පොලිසිය හමුවේ පාපොච්චාරණය කර ඇත්තේ සංවිධානාත්මක අපරාධකරුවෙකු ලෙස සැලකෙන ආමි චූටි නැමැත්තගේ මෙහෙයවීම මත තමන් අදාළ වෙඩි තැබීමට සූදානම් ව සිටි බවයි.
මිදිගම ප්‍රදේශයේ සංචාරක හෝටලයේ හිමිකරු සහ ඔහුගේ පවුලේ ඥාතීන් එම හෝටලයේම සාදයක් සැලසුම් කර ඇති අතර එම අවස්ථාවේදී වෙඩි තැබීම සිදු කිරීමට සැලසුම් කර තිබූ බවටද සැකකරු පොලිසිය හමුවේ වැඩිදුරටත් පවසා තිබෙනවා.
Share This Article