වසර තුනක ආදර කතාව නතර කළාට කළ වැඩක්ලු... පෙම්වතියත් නොයෙන ගමන් යවා පෙම්වතාත් යන්නම ගිගින්..
පදියතලාව මරංගල ප්‍රදේශයේ නිවසකට ඊයේ (23දා) අලුයම කඩා වැදුණු පෙම්වතකු එම නිවසේ සිටි සිය 22 හැවිරිදි පෙම්වතියගේ ගෙල කපා ඝාතනය කර ඇගේ මව සහ පියාද කපා කොටා බරපතළ තුවාල කර පසුව ඔහු ද ගෙල කපාගෙන සියදිවි හානි කරගෙන ඇත.
වසර තුනක් තිස්සේ පැවැති ප්‍රේම සම්බන්ධය තරුණිය විසින් නතර කිරීම නිසා කෝපයට පත්වූ පෙම්වතා මෙම අපරාධය සිදු කර ඇති බව පොලිස් විමර්ශනවලින් හෙළිවී තිබේ.
සිය පෙම්වතාගේ පිහි ප්‍රහාරයෙන් ඝාතනයට ලක්ව ඇත්තේ 22 හැවිරිදි වියේ පසුවූ ඩී.එම්. සරෝජා උදයංගනී නමැති තරුණියකි.
ඔහුගේ පිහි ප්‍රහාරයන්ට ලක්ව බරපතළ තුවාල ලබා සිටි 62 හැවිරිදි වියේ පසුවන පෙම්වතියගේ පියා සහ 60 වැනි වියේ පසුවන මව මඩකළපුව රෝහලට ඇතුළත් කර ඇත.
පොලිස් විමර්ශනවලින් හෙළිවී ඇති අන්දමට ඝාතනයට ලක්වූ සරෝජා නමැති තරුණිය වසර තුනක පමණ කාලයක් තිස්සේ මොනරාගල ප්‍රදේශයේ පදිංචි තරුණයකු සමග ප්‍රේම සම්බන්ධතාවක් පවත්වාගෙන ගොස් තිබේ. එම තරුණයා මුදල්වලින් සහ විවිධ අයුරින් මෙම තරුණියට උපකාර කර ඇති අතර ඇය විවාහ කර ගැනීමේ බලාපොරොත්තුවෙන් ඔහු සිට ඇත.
එහෙත් මීට ටික කලකට උඩදී එම තරුණිය මෙම තරුණයා සමග පැවැත්වූ ප්‍රේම සම්බන්ධතාව නතර කර තිබේ. ඇගේ දෙමාපියන් ද තරුණයාට සිය අකමැත්ත ප්‍රකාශ කර ඇත.
මේ හේතුව නිසා තරුණයා මෙම තරුණිය සහ ඇගේ පවුලේ සාමාජිකයන් සමග දැඩි වෛරයකින් පසුවිය. තරුණිය කොළඹ ප්‍රදේශයේ ඇඟලුම් කම්හලක සේවයට ගොස් ඇත්තේ මෙම තරුණයාගෙන් එල්ලවූ තර්ජන ගර්ජන නිසාය. මේ අතර තරුණිය වෙනත් තරුණයකු සමග අලුතින් ප්‍රේම සම්බන්ධයක් පවත්වාගෙන ගොස් ඇති බවද පොලිස් විමර්ශනවලින් හෙළි විය. මීට දින 3කට පෙර තරුණිය නිවාඩු ලබා පදියතලාවේ නිවස වෙත පැමිණ සිට ඇත. තම පෙම්වතිය නිවසට පැමිණි බව දැනගත් තරුණයා ඊයේ අලුයම යතුරුපැදියෙන් ඇගේ නිවස ආසන්නයට පැමිණ තිබේ.
අලුයම 2.30ට පමණ තරුණිය කොළඹ බලා යෑමට සූදානම් වෙමින් සිටියාය. ඒ අවස්ථාවේ තියුණු ආයුධයක්ද රැගෙන නිවසට කඩා වැදුණු තරුණයා මුලින්ම තරුණියගේ ගෙල කපා ඝාතනය කර ඇත. පසුව නිවසේ සිටි ඇගේ දෙමාපියන් ද කපා කොටා තුවාල කළ තරුණයා නිවසින් පිටතට ගොස් ඇත. තරුණයාගේ පිහි පහර කෑ තරුණිය නිවසින් පිටතට දිවගොස් සිය ඥාතියකුගේ නිවසක් ආසන්නයට ගොස් මැරී වැටී සිට ඇත. නිවසින් පලාගිය තරුණයා තියුණු ආයුධයෙන්ම සිය ගෙල කපාගෙන සියදිවි හානි කරගෙන තිබේ.
තරුණයා මොනරාගල සිට පෙම්වතියගේ නිවස අසලට පැමිණි යතුරුපැදිය ද පොලිසිය විසින් පසුව සොයාගෙන ඇත. අම්පාර දිස්ත්‍රික් භාර නියෝජ්‍ය පොලිස්පති සුදත් වෙදමුල්ල මහතාගේ උපදෙස් මත පදියතලාව පොලිස් ස්ථානාධිපති රෝහිත ගුණසේන මහතාගේ මෙහෙයවීමෙන් පරීක්ෂණ පැවැත්වෙයි.
හේමන්ත රන්දුණු
දිවයින..