අස්වැසුම ගැන නියෝජ්‍ය ඇමතිගෙන් සුබ ආරංචියක්
Tuesday, 21 January 2025 - 11:55 | Views - 363

අස්වැසුම ආධාර ක්‍රියාවලිය සමාලෝචනය කිරීමට රජය තීරණය කර ඇති බව මුදල් සහ ක්‍රම සම්පාදන නියෝජ්‍ය අමාත්‍ය හර්ෂන සූරියප්පෙරුම පවසනවා.
අමාත්‍යවරයා මේ පිළිබඳව ප්‍රකාශකර සිටියේ අද පැවති පාර්ලිමේන්තු සැසිවාරය අමතමින්.
එහිදී මන්ත්‍රීවරයා සඳහන්කර සිටියේ මෙවැනි අදහසක්.
''විශේෂයෙන්ම අවධානයට ලක්විය හැකි ජනතාව ආරක්ෂා කිරීම සඳහා සමාජ ආරක්ෂණ ජාලය ශක්තිමත් කිරීම සහ පුළුල් කිරීම. ඔබතුමන්ලා දන්නවා මේ අපහසුතාවයට පත්වෙලා තියෙන පිරිසට දෙන්න කියලා ඇලොකේට් කරපු, වෙන් කරපු මුදල පවා පසුගිය රජයේ තියෙන අවස්ථාවේදී, පසුගිය කාල සීමාවන්වල දුන්නේ නැහැ. අපි ඉතාම කාර්යක්ෂමව නව රජය පත්වෙලා කෙටි කාලයකින්, ඒ මුදල් ලබාදීම කඩිනම් කරලා, සහනය ලබා, ඒ අති දුෂ්කරතාවයට පත්වෙලා හිටිය, ජනතාවට සහන ලබා දුන්නා. අත්‍යවශ්‍ය ආහාර සඳහා ආධාර කිරීම ඉලක්ක කරගත ආධාර වැඩසටහනක් හඳුන්වා දීම. රාජ්‍ය මූල්‍ය වගකීම සහ මහජන සුබසාධනය අතර සමතුලිතතාවයක් ඇති කිරීමට අවශ්‍යකරන ප්‍රතිපත්ති නැවත සලකා බැලීම සහ ඒ සඳහා සුදුසු ක්‍රියාමාර්ග ගැනීම. අස්වැසුම ආධාර බෙදාහැරීමේ ක්‍රියාවලිය සමාලෝචනය කර අස්වැසුම සඳහා සුදුසුකම් ඇති නමුත් තවමත් ප්රතිලාභ ලැබී නැති අය ඇතුළත් කර ගැනීම, තහවුරු කිරීම සඳහා පද්ධතිය හරහා ලැබෙන තොරතුරු මේ විට නැවතත් පරීක්ෂණය ආරම්භ කරලා තියෙනවා. තොරතුරු ගොනු කරගෙන තියෙනවා. විශාල පිරිසක් එහි අභියාචනා නැත්නම් දුක්ගැනවිලි ඉදිරිපත් කරලා තියෙනවා. ඒවා නැවත වතාවක් නිසි ලෙස නිසි ක්‍රමවේදයකට අනුව සමාලෝචනය කරලා ඒ දෙදාස් විසි හතර සඳහා වසර සඳහා වූ මුදලම ට වඩා වැඩි ප්‍රමාණයක් දෙදාස් විසිපහ වර්ෂයේදී, එහෙම නැත්තං බිලියන දෙසිය තිස් දෙකයි දශම පහක් දක්වා ප්‍රමාණයකට මේක වැඩි කරලා තියෙනවා.
මේ වගේ ප්‍රතිසංස්කරණ තුළින් මහජනතාවට සිදුවන අනවශ්‍ය දුෂ්කරතා අවම කර ගනිමින් වඩාත් ශක්තිමත් ඔරොත්තු දෙන ආර්ථිකයක් සඳහා ක්‍රමවේදයක් සූදානම් කිරීම සඳහා අවශ්‍ය වැඩ කටයුතු සූදානම් කරලා තියෙනවා. විශේෂයෙන්ම ජනතාව අන්ත අසරණභාවයට පත්වෙන ආර්ථික ක් රමයක් හදනවා වෙනුවට ආර්ථිකයට ගොඩනැංවීම තුළින් රටේ ජනතාවට ඇති දුෂ්කරතාවයන් අවම කිරීමට වැඩපිළිවෙලක් සූදානම් කරලා තියෙනවා.''
මේ අතර අස්වැසුම සුබසාධක ප්රතිලාභ ලැබීම පිණිස සුදුසු පවුල් හඳුනා ගැනීමේ තොරතුරු එක්රැස් කිරීම වෙනුවන් සුබසාධක ප්රතිලාභ මණ්ඩලය නිවේදනයක් නිකුත්කර තිබෙනවා.
ඒ අනුව අස්වැසුම සුබසාධක ප්රතිලාභ වැඩසටහනේ II අදියර සඳහා මේ වන විට අයදුම්පත් 761,000 කට ආසන්න ප්‍රමාණයක් ලැබී තිබෙනවා.
ප්‍රතිලාභීන් තෝරා ගැනීමේ ඊළඟ පියවර වන්නේ අයඳුම්කරුවන්ගේ නිවාස ඒකක වෙත ගොස් සිදු කරන තොරතුරු එක් රැස් කිරීමයි.
අස්වැසුම අයඳුම්කරුවන්ගේ නිවාස වෙත ගොස් සිදු කරන වැඩිදුර තොරතුරු එක්රැස් කිරීම 2025/01/21 දින සිට දීප ව්‍යාප්තව ආරම්භ වෙන අතර මෙම තොරතුරු එක්රැස් කිරීම සිදුවන්නේ නව අයදුම්පත් ලබාදුන් අයඳුම්කරුවන් සඳහා පමණක් බවයි සඳහන් වෙන්නේ.
අස්වැසුම 1 අදියර යටතේ දුක් ගැනවිලි සහ අභියාචනා ලබාදුන් අභියාචනාකරුවන්ගේ දුක් ගැනවිලි විභාග කිරීම මෙම තොරතුරු සංගණනය අවසන් වූ පසු සිදු කිරීමට කටයුතු සුදානම් කර ඇති අතර මෙම දුක් ගැනවිලි සහ අභියාචනා විභාග කිරීමට ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස මට්ටමින් පිහිටුවා ඇති දුක් ගැනවිලි කමිටු මඟින් සිදුකිරීමට නියමිත බවයි එම නිවේදනයේ දැක්වෙන්නේ.
සෑම ග්‍රාම නිලධාරී වසමකටම තොරතුරු එක්රැස් කිරීම සඳහා රජයේ ක්ෂේත්‍ර නිලධාරියෙකු ප්‍රාදේශීය ලේකම්වරයා විසින් පත්කර ඇති අතර තොරතුරු එක්රැස් කිරීම සිදු කරනු ලබන්නේ ජංගම යෙදවුම් මෘදුකාංගයක් (Mobile App) මඟින්.
අස්වැසුම සුබසාධක ප්රතිලාභ යෝජනා ක්‍රමය සදහා අනුමත කෝරා ගැනීමේදී ප්‍රධාන මානයන් 06 ක් එනම් පවුලේ ආදායම, වියදම, පවුලේ සාමාජිකයන්ගේ සෞඛ්‍ය අධ්‍යාපන තත්ත්වය, ජීවත් වන නිවසේ තත්ත්වය, පවුලේ යැපෙන්නන් ප්‍රමාණය සහ මව හෝ පියා පමණක් සිටින පවුලක්ද යන කරුණු පිළිබඳ වැඩි දුර තොරතුරු ලබා ගැනීම සිදුවෙන බවත් එම නිවේදනයේ සඳහන්.
සෑම අයඳුම්කරුවෙකුටම QR කේතයක් සහිත රිසිට්පතක් ලබා දෙන අතර තොරතුරු එක්රැස් කිරීම අවසානයේ QR කේත සහිත රිසිට්පත නිලධාරියාගෙන් ලබාගැනීම අයදුම්කරුගේ වගකීමක්.
සියලුම අයදුම්කරුවන් තමාගේ තොරතුරු තහවුරු කිරීමට අවශ්‍ය වන්නා වූ ඉඩම් ඔප්පු, වාහන බලපත්‍ර, වෛද්‍ය වාර්තා, මාස 03 ක විදුලි බිල්පත් සුදානම් කරගත යුතු බවත් එම නිවේදනයේ සඳහන්.
පවුලේ වයස අවුරුදු 18 ට වැඩි සියලුම සාමාජිකයන්ගේ ජාතික හැඳුනුම්පත් තොරතුරු රැස් කිරීමේදී ඉදිරිපත් කිරීම අනිවාර්ය වෙන අතර සියලුම අයඳුම්කරුවන්ට තොරතුරු රැස් කිරීමට තමාගේ නිවස වෙත පැමිණෙන බව (SMS) කෙටි පණිවිඩයකින් දැනුම් දෙනු ඇත.
අයඳුම්කරුවන්ට අස්වැසුම තොරතුරු එක්රැස් කිරීම පිළිබඳ තමා අයත් ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ සුබසාධක ප්රතිලාභ තොරතුරු ඒකකයෙන් හෝ ග්‍රාම නිලධාරිගෙන්, ආර්ථික සංවර්ධන නිලධාරීගෙන්, සමෘද්ධි සංවර්ධන නිලධාරිගෙන් වැඩිදුර තොරතුරු ලබාගත හැකි බව සඳහන්.
අස්වැසුම ක්ෂේත්‍ර තොරතුරු එක්ක්රැස් කිරීම සිදුවන කාල වකවානුව තුළ සුබසාධක ප්රතිලාභ මණ්ඩල පරිශ්‍රයේ තාක්සනික සහ මෙහෙයුම් සහාය ලබාදීම සඳහා ජාතික මෙහෙයුම් මැදිරියක් ස්ථාපිත කර ඇති අතර තොරතුරු එක්රැස් කරන සියලුම සංගණන නිලධාරීන්ට සහ ප්‍රාදේශීය සහ දිස්ත්‍රික් ලේකම් කාර්යාලයන්හි වැඩසටහනට සම්බන්ධ සියළුම නිලධාරීන්ට මාර්ගගත ක්‍රමය ඔස්සේ මැදිරිය සමඟ සම්බන්ධ විය හැකි බවයි වාර්තා වෙන්නේ.
Share This Article