දෙහිවල පාතාලය හිස ඔසවයි , ප්‍රසිද්ධ ක්‍රිකට් ක්‍රීඩකයෙකුගේ සහෝදරයාටත් මැර ප්‍රහාරයක්
Saturday, 11 January 2025 - 7:36 | Views - 345

ශ්‍රී ලංකා ක්‍රිකට් ටෙස්ට් කණ්ඩායමේ නායක ධනංජය ද සිල්වාගේ සහෝදරයා වන සාවිත්‍ර රන්මාල් ද සිල්වාට අයෙකු විසින් තියුණු ආයුධයකින් පහරදීම හේතුවෙන් බරපතළ තුවාල ලබා ඊයේ (10) පස්වරුවේ කළුබෝවිල ශික්ෂණ රෝහලට ඇතුළත් කළ බව ගල්කිස්ස මූලස්ථාන පොලිසිය සඳහන් කරනවා.
ඔහු පදිංචිව සිටින රත්මලානේ පිහිටි සිය නිවසට අද රාත්‍රියේ පැමිණි කණ්ඩායමක අයෙකු ඔහු ඉලක්ක කර තියුණු ආයුධයකින් පහරක් එල්ල කළ අවස්ථාවේදී ඉන් බේරීම සඳහා තම අතක් ඔසවා ඇති අතර, එම අවස්ථාවේදී ප්‍රහාරයෙන් ඔහුට තුවාල සිදුවී ඇති බවයි පොලිසිය සඳහන් කළේ.
කෙසේ නමුත්, මෙලෙස පැමිණි පිරිසටද ඔහු විසින් ප්‍රතිප්‍රහාර එල්ල කර ඇති අතර, පොලිසිය සැකකරනු ලබන්නේ මෙම ප්‍රහාරය සඳහා පාතාල කල්ලියක සම්බන්ධයක් පවතින බවයි.
එමෙන්ම, මෙලෙස තුවාල සිදුකර පළාගිය පිරිස අත්අඩංගුවට ගැනීම සඳහා ගල්කිස්ස මූලස්ථාන පොලිසියේ අපරාධ විමර්ශන අංශය විසින් මේ වනවිටත් විමර්ශන ආරම්භ කර තිබෙනවා.
ධනංජය ද සිල්වාගේ සහ සාවිත්‍ර ද සිල්වාගේ පියා වන දෙහිවල ගල්කිස්ස මහ නගර සභාවේ පොදුජන පෙරමුණේ නාගරික මන්ත්‍රීවරයෙකු වූ රංජන් ද සිල්වාද 2018 වසරේදී නාඳුනන වෙඩික්කරුවෙකුගේ වෙඩි පහරකින් ජීවිතක්ෂයට පත් වුණා.
Share This Article