වාසනාව ගේනවා කියලා හිතලා , මේ පැල ඔබත් අරන් ආවා ද?
Monday, 02 September 2024 - 9:45 | Views - 621
ලකී ප්ලානට් ලෙස මෙරට ප්‍රචලිත Zanzibar gem ( Zamioculcas zamiifolia) ශාකය ඉතා විෂ සහිත සහ පිළිකා කාරක ශාකයක් ලෙස හැදින්වීමක් මෑතක සිට ඇති බව අප සැවොම දනිමු.

ඉතා අලංකාර ශාකයක් වන මෙයින් අද්භූත වූ වාසනාවක් ගෙනෙනවාදැයි කීමට මා නොදන්නා නමුත් ඉහත කිවු ප්‍රචාරය නිසාමදෝ මෑතක සිට දෙමාපියන් කුඩා දරුවන් රැගෙන මා වෙතට පවා පැමිණ ඇත්තේ විවිධ පැමිණිලි සමඟයි. “ගහේ කොල කැඩුවා, කොල කෑවා, කිරි ගෑවුනා, කඳ පොඩිකරා” වගේ පැමිණිලි තමයි සුලභ.

ඇත්තටම මොකක්ද මේ ගහ?

අනැගෙනහිර අප්‍රිකාව නිජබිම වුනු මේ ශාකයට ගෘහස්ථ අලංකරණ ශාකයක් විදියට (indoor plant) වාණිජ වටිනාකමක් පසුකාලීනව ලැබෙනව. ඒකට ප්‍රධාන හේතුවක් තමයි ඉතා අඩු ජල සැපයුමකින් සහ අඩු අලෝකයකින් වුවද අලංකාර හරිත පැහැයෙන් බැබලීමට හැකි වීම. මෙහි අර්තාපල් අලයක් වැනි මූලාකන්ධයට මාස හතරක් පමණ නොමැරී ඉන්න හැකි බව කියවෙනවා. කෝපන්හේගන් විශ්වවිද්‍යාලයෙන් කරපු පරීක්ෂනයකින් හෙළිවුනා මේ ශාකයට වාතය පිරිසිදු කිරීමේ විස්මිත හැකියාවක් තිබෙන බව, ඔවුන් ඔප්පු කලා මිනිසාට අහිතකර වාෂ්පශීලී කාබනික සංයෝග ( බෙන්සීන්, ටොලුයීන්, එතිල් බෙන්සීන්, ක්සයීලීන් වැනි) උරා ගැනීමට සහ වාතයේ දුඟද නැති කිරීමට මෙම ශාකයට හැකි බව.

ඇත්තටම මොකක්ද මේ විස කතාව???

අමෙම ශාකයේත් තවත් බොහෝ ශාක වලත් කැල්සියම් ඔක්සලෝට් නම් සංඝටකය අඩංගුයි. ගසේ මුලේ, කඳේ සහ පත්‍ර වල මේවා තිබෙනවා. කැල්සියම් ඔක්සලෝට් කියන්නේ ඉතා තියුනු ඉදිකටු තුඩු වැනි උල් ඇති ඇසට නොපෙනෙන තරම් කුඩා වැලිකැට වැනි ද්‍රව්‍යයක්. (calcium oxalate crystals). ඒවායේ අලෝක අණ්වීක්ෂ සහ ඉලෙක්ට්‍රෝන අණ්වීක්ෂ ඡායාරූප මා පහත දක්වා තිබෙනවා. මෙම ඔක්සලෝට් අංශු අඩංගු ශාක කොටස් තදින් සැපීම, මෘදු සම ඇති (කුඩා දරුවන් වැනි) අය පොඩි කීරීම නිසා සහ ඇස් මත තැවරීමෙන් තමයි හානිය සිදුවන්නේ. නමුත් එම හානි මරණීය වන්නේ නැහැ. සිදුවන්නේ මෙම කුඩා ඔක්සලෝට් අංශු වල තියුනු උල් මගින් ස්ථානීය වශයෙන් ඇසට නොපෙනෙන කුඩා තුවාල සිදු වීමයි (local trauma). එවිට තොල්, කම්මුලේ ඇතුළු පැත්ත, දිව, සිනිදු සම ඇති පෙදෙස් සහ ඇස් වල ශ්ලේෂ්මල පටලය රතුවීම සහ ඉදිමීම සිදුවෙනවා. ( ශාක කොටස තදින් ස්පර්ෂ වූ ස්ථාන අනුව) කැසීමක් ඇති වෙන්නටත් පුළුවන්. නමුත් මෙම ඉදීමීම සහ රතුවීම බොහෝ විට ප්‍රතිකාරයක් නැතිවම පැය කීපයකින් සුව වෙනවා. නැත්නම් ඉතා සුළු ප්‍රතිකාරයකින් සුව වනවා. ඉතාමත්ම කලාතුරකින් උගුර සහ ස්වරාලය පෙදෙස ඉදිමුනොත් හුස්ම ගැනීමේ අපහසුතා එන්නට පුළුවන්, එවිට රෝහල් ගතවීම අවශ්‍යයි. නමුත් ඉතා අවධාරණයෙන් කිව යුත්ත තමයි එවැනි තත්වයන් ඉතාමත් ඉතාමත් විරලයි.

මෙම ඉහත කී කැල්සියම් ඔක්සලෝට් අඩංගු වන්නේ ලකී ප්ලාන්ට් ( Zanzibar) ශාකයේ පමණක් නොවෙයි. දශක ගණනක සිට මෙරට ප්‍රචලිත ඇන්තූරියම් වලත් අඩංගුයි. ඊට අමතරව ඇන්තූරියම් වර්ගයේ වෙනත් විසිතුරු ශාක බොහොමයක මෙම ඔක්සලෝට් අඩංගුයි. කෙටියෙන් කියනවා නම් ඇන්තූරියම් මලට සමාන මල් ඇති බහුතරයක් ශාක වල ඔක්සලෝට් අංශු තිබෙනවා. 2007 වසරේදී ඇමෙරිකානු විෂවේදී සංගමය (American poison Association) මෙම ශාක ආශ්‍රිත ඔක්සලෝට් විෂවීම ගැන කල අධ්‍යයනට අනුව එම වසරේ වාර්තා වූ රෝගීන් 1145කට ප්‍රතිකාර නැතිව සුව වී තිබුනා, 81 දෙනෙක්ට සුළු ප්‍රතිකාර දී තිබුනා 3දෙනෙක්ට රෝහල් ගතවීමට සිදුවුනා. නමුත් කිසිදු මරණයක් වාර්තා උනේ නෑ.

වැදගත්ම දෙයක් තමයි මෙම ශාක ගැන අනියත බියක් ඇතිකර ගත යුතු නැති බව. බොහෝ විට අවුරුදු 5ට අඩු දරුවන්ගේ තමයි ඉදිමීම සහ රතුවීම හටගන්නේ, ඒ ඔවුන්ගේ සම ඉතා සිනිදු නිසා. මෙවැනි ශාක සමඟ අනවශ්‍ය ස්පර්ෂයක් සිදු වී ඇත්නම් (ශාක කොටස් තැලීම. පොඩිවීම හෝ සැපීම) ප්‍රථමයෙන්ම එම පෙදෙස් ජලයෙන් හොඳින් සෝදා හැරීම පමණක්ම ප්‍රමාණවත් ප්‍රතිකාරයක්, සෝදීමේදි ඇලුනු ශාක කොටස් ඉවත් වන ලෙස ගලායන ජලයෙන් සෝදනවා නම් වඩාත් හොඳයි. සුළු වශයෙන් ඇතිවන රතුවීම් සහ ඉදිමීම් වලට අයිස් වතුර හෝ ආවරණය කල අයිස් කැට මගින් සම්භාහනය හොඳ ප්‍රතිකාරයක්. කල් පවතින ඉදිමුම අැත්නම් වෙෙද්‍යවරයෙකු හමුවීම සුදුසුයි.

අප ඉහත කථාකල කැල්සියම් ඔක්සලෝට් අණු මිනිසාගේ සහ සතුන්ගේ මුත්‍රාවල පවා අඩංගු වෙනවා. එනිසා අනවශ්‍ය බියක් ඇතිකර ගත යුතු නැහැ. අපගේ කථාවට පාදක වූ Zanzibar ශාකය මලාවි සහ ටැන්සානියා යන රටවල දේශීය ඖෂධයක් ලෙස පවා භාවිත කරනවා. එබැවින් මෙම ශාක විෂ බවක් හෝ පිළිකා කාරක බවක් මෙතෙක් සොයා ගෙන නැති අතර පෙරකී ස්ථානිය සංකූලතා පමණක් ඇති කරණ බවත් දන්වමි. අවසාන වශයෙන් කිවයුත්ත නම් කරුණු නිසිපරිදි නොසොයා තණකොළ ගසක් හෝ විනාශ කිරීම නම් ඉතා අනුවණ ක්‍රියාවක් බවයි. ස්තූතියි

වෙෙද්‍ය ඔමේෂ් චන්ද්‍රසිරි

(ඡායාරූප අන්තර්ජාලයෙනි)
Share This Article
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
ලෝක ළමා දිනය වගේම ලෝක වැඩිහිටියන්ගේ දිනය මූලික කරගෙන මේ දවසට මනාව ගැළපෙන, අපේ...
Hiru Tv Blog
ලොව පුරා අතිශය ජනප්‍රියත්වයට පත් පොප් සංගීත රැජිනක වන ටේලර් ස්විෆ්ට් (Taylor Swift)...
Hiru Tv Blog
ජනප්‍රිය Netflix රංගන ශිල්පිනියක වන මෛත්‍රී රාමක්‍රිෂ්ණන්ගේ (Maitreyi Ramakrishnan) අනන්‍යතාව...
Hiru Tv Blog
කෘත්‍රිම බුද්ධිය එසේත් නැතිනම් AI (Artificial Intelligence) යන නාමය වෙනුවට එය "සුපිරි බුද්ධිය"...
Hiru Tv Blog
චීනය තුළ කෘත්‍රිම බුද්ධි (AI) තාක්ෂණය වේගයෙන් ව්‍යාප්ත වීමත් සමඟ එරට වෘත්තීය...
Hiru Tv Blog
කෘත්‍රිම බුද්ධි (AI) ඉතිහාසයේ මෙතෙක් වාර්තා නොවූ අන්දමේ දැවැන්ත සහ භයානක සිදුවීමක්...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top