සඳෙන් ඉඩමක් අරන් ගෙයක් හදමු ද?
Friday, 16 June 2023 - 16:04 | Views - 950

අතීතයේ සිට ම මිනිසාට ඉතාමත් කුතුහලයක් දැනවූ අභ්‍යවකාශ වස්තූන් දෙකක් තිබෙනවා. එයින් එකක් වන්නේ පෘථිවිය මතුපිට ඇති මිනිසාත් ප්‍රමුඛ ජීවයට අවශ්‍ය ශක්තිය සපයන ශක්ති ප්‍රභවය වන සූර්යයා යි. අනෙක වන්නේ රාත්‍රි කාලයේදී පෘථිවිය ආලෝකවත් කරනා චන්ද්‍රයායි. මෙම අභ්‍යවකාශ වස්තූන් දෙක මිනිසාට කොපමණ ප්‍රයෝජනවත් වූවා ද කියනවා නම් මේවායින් ශක්තිය හෝ ආලෝකය නිකුත් වන්නේ කෙසේදැයි නොදත් අතීත කාලයේදී මෙම අභ්‍යවකාශ වස්තූන් දෙකට දේවත්වයක් පවා ආරූඪ කර තිබුණා.

නමුත් දැන් අපි දන්නවා සූර්යයා යනු ප්‍රධාන වශයෙන් ම හයිඩ්‍රජන් වායුවෙන් සමන්විත වන අතිවිශාල ගෝලයක් බව ත් සූර්යයාගෙන් ශක්තිය සහ ආලෝකය ලැබෙන්නේ එය තුළ සිදුවන න්‍යෂ්ටික විලයන ප්‍රතික්‍රියාවක් මගින් වන බව ත්. ඒ වාගේ ම රාත්‍රි කාලයේදී චන්ද්‍රයාගෙන් ආලෝකය ලැබෙන්නේ එය මතට පතිත වන සූර්යාලෝකය පරාවර්තනය වීමෙන්.

දැන් මෙලෙස සූර්යාලෝකය පරාවර්තනය කරන චන්ද්‍රයාව අපිට හොඳින් ම දැක ගැනීමට හැකි වන්නේ ඊයේ හෝ අද වැනි පුර හඳ ඇති දවසකයි. එවැනි දිනකදී චන්ද්‍රයා මතුපිට ඇති සමහර ආවාටයන් පියවි ඇසින් පවා දැකීමට හැකි වන අතර ඔබ දුරේක්ෂයක් හෝ දෙනෙතියක් භාවිත කරනවා නම් මෙම ආවාට සහිත චන්ද්‍ර පෘෂ්ඨය ඉතාමත් හොඳින් දැක ගැනීමට හැකි වෙනවා.

චන්ද්‍රයා අපට වැදගත් වන ප්‍රධානතම හේතුව වන්නේ එය පෘථිවියට ළඟින් ම පිහිටා ඇති අභ්‍යවකාශ වස්තුව වීමයි. පෘථිවියේ සිට මෙයට ඇති සාමාන්‍ය දුර කිලෝමීටර් 384,000ක් පමණ වනවා. අභ්‍යවකාශයේ ඇති අනිකුත් වස්තූන්ට ඇති දුරවල් සමග සැසඳීමේදී මෙය සාපේක්ෂව ඉතාමත් අඩු දුරක් වනවා. උදාහරණයක් වශයෙන් පෘථිවියේ සිට සූර්යයාට ඇති දුර වන්නේ කිලෝමීටර් මිලියන 150ක් (150,000,000km).

මේ ආකාරයට චන්ද්‍රයා පෘථිවියට සාපේක්ෂව ළඟින් පිහිටා තිබුණ ත් එය කරා ළඟා වීමට පවා තාක්ෂණයක් මෑතක් වන තුරු මිනිසා සතුව තිබුණේ නැහැ. එනම් මිනිසා මීට වසර 12,000කට පමණ පෙර පෘථිවිය මතුපිට විශාල ජනාවාස සෑදීම සිදු කළත්, ඒ වගේම මීට වසර 4500කට පමණ පෙර ඊජිප්තු පිරමීඩ වැනි මහා නිර්මාණයන් සිදු කළත් මිනිසෙකුට ප්‍රථම වරට චන්ද්‍රයා මතුපිටට ගොඩබැසීමට හැකි වූයේ මීට වසර 54කට පෙර 1969 ජූලි 20 වන දා යි. ඔබ හොඳින් දන්නා පරිදි එම අවස්ථාවේදී නීල් ආම්ස්ට්‍රෝන් සහ එඩ්වින් ඕල්ඩ්‍රින් යන අභ්‍යවකාශගාමීන් දෙදෙනා චන්ද්‍රයා මතුපිටට ප්‍රථම වරට ගොඩ බසිනු ලැබුවා.

එකල අමෙරිකාව සහ සෝවියට් රුසියාව අතර තිබූ සීතල යුද්ධයේ ප්‍රතිඵලයක් වශයෙන්, අමෙරිකාව ප්‍රථම වරට මිනිසුන් චන්ද්‍රයා මතුපිටට යැවීමේ මෙහෙයුම් පිළිබඳව අනවබෝධයෙන් සමහරුන් මෙය සැබැවින්ම සිදු කළා දැයි සැක කළත් 1969 ජූලි 20 වන දා චන්ද්‍රයා මතුපිට ගොඩබැසි ඇපලෝ 11 මෙහෙයුමට පසුව ත් තවත් ඇපලෝ මෙහෙයුම් පහක් චන්ද්‍රයා මතුපිට ගොඩබසිනු ලැබුවා. එනම් 1969 ජූලි සිට 1972 දෙසැම්බර් දක්වා අභ්‍යවකාශගාමීන් ‍ෙදාළොස් දෙනෙකු ඇපලෝ මෙහෙයුම් හයකදී චන්ද්‍රයා මතුපිට ගොඩබැස තිබෙනවා. ඒවාගේ ම එම මෙහෙයුම්වලදී චන්ද්‍ර පාෂාණ කිලෝග්‍රෑම් 380ක් පමණ පෘථිවිය මතුපිටට රැගෙන ඒම ද සිදු කරනු ලැබුවා. මෙම චන්ද්‍ර පාෂාණ තව ම ත් පෘථිවිය මතුපිට ඇති විද්‍යාගාරවල විද්‍යාඥයන් විසින් අධ්‍යයනය කරනු ලබනවා.

නමුත් මෙලෙස මීට වසර 50කට පමණ පෙර චන්ද්‍රයා මතුපිටට හය වතාවක් ගමන් කිරීමෙන් පසු මූල්‍යමය ගැටලු ඇතිවීම නිසා සහ වෙනත් අභ්‍යවකාශ මෙහෙයුම් රැසක් සිදු කිරීමට අවශ්‍ය වූ නිසා චන්ද්‍රයා මතුපිටට මිනිසුන් යැවීම නවතා දමනු ලැබුවා. දැන් ඔබට පැහැදිලි ඇති 1972 දෙසැම්බර් මාසයේ සිට මේ වන තෙක් මිනිසෙකු නැවතත් චන්ද්‍රයා වෙත ගොඩබැසීම සිදු නොකිරීමට හේතුව කුමක් ද කියලා.

එසේ වුව ත් අවුරුදු 50ක පමණ කාලයක් පැවති චන්ද්‍රයා මතුපිට නැවතත් මිනිසුන් ගොඩ නොබැසීමේ අඩුව පුරවමින් මේ වන විට අමෙරිකාව සූදානම් වන්නේ නැවතත් මිනිසුන් චන්ද්‍රයා මතුපිටට ගොඩබැස්ස වීමටයි. මීට ත් අමතරව මෙම අවස්ථාවේදී ඇමරිකාව බලාපොරොත්තු වන්නේ චන්ද්‍රයා මතුපිටට නැවතත් මිනිසුන් ගොඩබැස්සවීමෙන් නොනැවතී චන්ද්‍රයා මතුපිට නුදුරු අනාගතයේදීම නිත්‍ය මිනිස් ජනාවාසයක් ඇති කිරීමට යි.

එය ආරම්භ වූයේ 2017 වසරේදී Artemis මෙහෙයුම සැලසුම් කිරීමත් සමඟයි. මෙම මෙහෙයුමේ ප්‍රථම අදියර ය. එනම් Artemis I අභ්‍යවකාශ යානය පසුගිය නොවැම්බර් මාසයේදී සාර්ථකව අභ්‍යවකාශ ගත කරනු ලැබුවා. එම අවස්ථාවේදී මිනිසුන් රහිත, “ඔරායන්” ලෙස නම් කර ඇති Capsule I එක චන්ද්‍රයා කරා ගමන් කර නැවතත් සාර්ථකව පෘථිවියට ගොඩ බැසීම සිදු කළා.

Artemis I මෙහෙයුමේදී ඔරායන් Capsule එක තුළ අභ්‍යවකාශගාමීන් ගමන් නොකළත් අමෙරිකාව බලාපොරොත්තු වන්නේ 2024දී සිදු කරන Artemis II මෙහෙයුමේදී මෙම ඔරායන් Capsule එක තුළ අභ්‍යවකාශගාමීන් හතර දෙනෙකු ගමන් කරවීමට යි. එම අභ්‍යවකාශගාමීන් හතර දෙනා මෙම අවස්ථාවේදීත් තෝරා අවසන් අතර ඔවුන් මේ වන විට ඒ සඳහා පුහුණු වෙමින් සිටිනවා. Artemis II මෙහෙයුම පිළිබඳව විශේෂත්වය වන්නේ එම අවස්ථාවේදී අභ්‍යවකාශගාමීන් හතර දෙනෙකු චන්ද්‍රයා කරා ගමන් කළත් ඔවුන් චන්ද්‍රයා මතුපිට ගොඩබැසීමක් සිදු නොකිරීමයි. එය සිදු කිරීමට නියමිතව තිබෙන්නේ Artemis III මෙහෙයුමේදී යි.

2025දී සිදුකිරීමට නියමිත Artemis III මෙහෙයුමේදී අභ්‍යවකාශගාමීන් හතර දෙනෙකු චන්ද්‍රයා කරා ගමන් කරන අතර එයින් දෙදෙනෙකු චන්ද්‍රයා මතුපිට ගොඩ බසිනු ඇති. මෙලෙස සැලසුම් කර ඇති Artemis III මෙහෙයුම පිළිබඳව වැදගත් ම කරුණ වන්නේ එම අවස්ථාවේදී ප්‍රථම වරට කාන්තාවක් සහ සුදු ජාතිකයෙකු නොවන තැනැත්තෙකු චන්ද්‍රයා මතුපිටට ගොඩබැස්සවීමට බලාපොරොත්තු වීමයි. එනිසා එය මිනිස් ශිෂ්ටාචාරයේ තවත් ඉදිරි පියවරක් වනු ඇති.

මෙම මෙහෙයුම අමෙරිකාවේ ව්චඵච ආයතනය සහ පෞද්ගලික ආයතනයක් වන Spacex ඒකාබද්ධව සිදු කිරීමට නියමිතව ඇති අතර එහිදී ව්චඵච ආයතනයට අයත් අභ්‍යවකාශ යානා මගින් අභ්‍යවකාශගාමින් චන්ද්‍රයා වෙත රැගෙන යාම සිදු කරනා අතර Spacex ආයතනයට අයත් අභ්‍යවකාශ යානයක් මගින් එලෙස ගමන් කරනා අභ්‍යවකාශගාමීන්ගෙන් දෙදෙනෙකු චන්ද්‍රයා මතුපිටට ගොඩබැසීමට සැලසුම් කර තිබෙනවා.

Artemis III මෙහෙයුමේදී අභ්‍යවකාශගාමීන් චන්ද්‍රයා මතුපිට ගොඩබසිනා ස්ථානය පිළිබඳව ද විශේෂත්වයක් තිබෙනවා. එය තමයි මීට පෙර සිදු කළ ඇපලෝ මෙහෙයුම් හයේදී මිනිසුන් චන්ද්‍රයා මතුපිට ගොඩබැස්සේ චන්ද්‍රයාගේ සමකාසන්න ප්‍රදේශයන්හි වුවත් මෙම අවස්ථාවේදී Artemis III අභ්‍යවකාශගාමීන් ගොඩ බසින්නේ චන්ද්‍රයාගේ දකුණු ධ්‍රැවය ආශ්‍රිත ප්‍රදේශයකට වීමයි. මෙලෙස දකුණු ධ්‍රැවය ආශ්‍රිත ප්‍රදේශයකට ගොඩබැසීමට හේතුව වන්නේ එම ප්‍රදේශයේ ඇති ආවටයන්හි පතුලේ ජලය අයිස් වශයෙන් පැවතීමයි. මෙම අයිස් ජලය බවට පත්කර අනාගත චන්ද්‍ර ජනාවාසවල භාවිත කිරීමට විද්‍යාඥයන් බලාපොරොත්තු වනවා.

දැන් මෙලෙස 2025දී Artemis III අභ්‍යවකාශගාමීන් සාර්ථකව චන්ද්‍රයා මතුපිට ගොඩබැසීමෙන් පසුව අමෙරිකාව විසින් Artemis මෙහෙයුම්වල ඊළඟ පියවර ක්‍රියාත්මක කිරීමට නියමිත යි. එය තමයි චන්ද්‍රයා මතුපිට නිත්‍ය මිනිස් ජනාවාසයක් ඇති කිරීම. මේ වන විට පෘථිවි පෘෂ්ඨයෙන් පරිබාහිර නිත්‍ය මිනිස් ජනාවාස දෙකක් තිබෙනවා. ඒවා වන්නේ ලොව රටවල් විශාල ප්‍රමාණයක් ඒකාබද්ධව ක්‍රියාත්මක කරන පෘථිවිය වටා කක්ෂගතව ඇති අන්තර්ජාතික අභ්‍යවකාශ මධ්‍යස්ථානය (ISS) සහ චීනය විසින් නිර්මාණය කළ පෘථිවිය වටා කක්ෂගතව ඇති Tiangong අභ්‍යවකාශ මධ්‍යස්ථානයි. මේ ආකාරයට පෘථිවි පෘෂ්ඨයෙන් පරිබාහිරව නිත්‍ය මිනිස් ජනාවාස දෙකක් මෙම අවස්ථාවේ තිබුණත් පෘථිවියෙන් පරිබාහිර එක් මිනිස් ජනාවාසයක්වත් නොමැති වීමේ අඩුපාඩුව මෙම නිත්‍ය මිනිස් ජනාවාසය චන්ද්‍රයා මතුපිට පිහිටුවීමෙන් පසුව නැති වනු ඇති.

නමුත් මෙය සිදු කිරීම අප සිතන තරම් පහසු කාර්යයක් වන්නේ නැහැ. එහිදී ඇමරිකාව මුලින්ම බලාපොරොත්තු වන්නේ චන්ද්‍රයා වටා කක්ෂගතව ඇති අභ්‍යවකාශ මධ්‍යස්ථානයක් ඉදි කිරීමටයි. එය ඔවුන් නම් කර තිබෙන්නේ Gateway Lunar Space Station එක වශයෙන්. මෙම අභ්‍යවකාශ මධ්‍යස්ථානය චන්ද්‍රයා වටා කක්ෂගත කිරීමේ බලාපොරොත්තුව වන්නේ එය පෘථිවිය සහ චන්ද්‍රයා මත ඇති චන්ද්‍ර ජනාවාස අතර, අතරමැදි ස්ථානයක් වශයෙන් ක්‍රියාත්මක වීමයි. උදාහරණයක් වශයෙන් පෘථිවියේ සිට ගමන් කරන අභ්‍යවකාශගාමියකු ප්‍රථමයෙන් Gateway අභ්‍යවකාශ මධ්‍යස්ථානයට ගමන් කිරීමත් ඉන් අනතුරුව චන්ද්‍රයා මත ඇති චන්ද්‍ර ජනාවාසය වෙත ගමන් කිරීමත් දැක්වීමට පුළුවන්. මීට ත් අමතරව චන්ද්‍ර ජනාවාසයකට අවශ්‍ය වන භාණ්ඩ ද මේ ආකාරයට ම අදියර දෙකකින් චන්ද්‍රයා මතුපිටට රැගෙන යාමට පුළුවන්. එය චන්ද්‍ර මෙහෙයුම්වල සංකීර්ණත්වය සැලකිය යුතු ලෙස අඩු කිරීමට හේතුවක් වනවා.

2030දී සඳමත හදන ජනාවාස

ඊළඟට අපි 2030 පමණ වන විට චන්ද්‍රයා මතුපිට ඉදිකිරීමට නියමිත චන්ද්‍ර ජනාවාස දෙස අවධානය යොමු කළොත් මෙහි ඔබට එවැනි චන්ද්‍ර ජනාවාසයක නිරූපණයක් දැක ගැනීමට පුළුවන්.

මෙවැනි චන්ද්‍ර ජනාවාසයකට අවශ්‍ය වන විද්‍යුත් ශක්තිය බොහෝ දුරට ලබා ගැනීමට හැකි වන්නේ සූර්ය පැනල භාවිත කිරීමෙන්. චන්ද්‍රයා මතුපිටට පෘථිවි පෘෂ්ඨයටත් වඩා හොඳින් සූර්යාලෝකය වැටෙන නිසා මෙය පහසුවෙන් සිදු කිරීමට පුළුවන්. මෙලෙස නිපදවන විද්‍යුත් ශක්තියේ අතිරික්තය චන්ද්‍රයා මතුපිට රාත්‍රි කාලයේදී භාවිත කිරීම සඳහා බැටරි පද්ධතියක ගබඩා කිරීම සිදු කළ යුතු වනවා.

චන්ද්‍ර ජනාවාසයේ ශක්ති අවශ්‍යතාව මෙලෙස සපුරාගත් පසු එහි ජීවත් වීමට නියමිත මිනිසුන්ට අවශ්‍ය වන ජලය සහ ඔක්සිජන් ලබා ගන්නා ආකාරය ගැන අවධානය යොමු කිරීමට පුළුවන්. මම කලින් සඳහන් කළ ලෙස විද්‍යාඥයන් මෙහිදී බලාපොරොත්තු වන්නේ චන්ද්‍රයාගේ දකුණු ධ්‍රැවයේ ආවාට තුළ ඇති අයිස් දිය කර චන්ද්‍ර ජනාවාසයට අවශ්‍ය වන ජලය ලෙස භාවිත කිරීමටයි. මීටත් අමතරව මෙම ජලය විද්‍යුත් විච්ඡේදනය කිරීම මගින් චන්ද්‍ර ජනාවාසය තුළ සිටින මිනිසුන්ට හුස්ම ගැනීමට අවශ්‍ය වන ඔක්සිජන් වායුව ලබා ගැනීමට හැකි අතර මෙහි අතුරු ඵලයක් වශයෙන් ඉන්ධනයක් වන හයිඩ්‍රජන් වායුව ද ලැබෙනවා. එම හයිඩ්‍රජන් වායුව අභ්‍යවකාශ යානා සඳහා ඉන්ධනයක් වශයෙන් ද භාවිත කිරීමට හැකි වනවා.

මෙම චන්ද්‍ර ජනාවාසයට අවශ්‍ය ආහාර සපයා ගැනීම සඳහා අනිවාර්යයෙන් ම අපිට චන්ද්‍රයා මතුපිට වගා කටයුතු සිදු කිරීමට සිදු වනවා. නමුත් අවුරුදු බිලියන ගණනක් අවකාශයෙන් පැමිණෙන විකිරණයන්ට භාජන වීම නිසා චන්ද්‍රයා මත ඇති පාංශු ස්තරයන් වගා කටයුතු කිරීමට සුදුසු ප්‍රශස්ත තත්ත්වයක නැහැ. එනිසා මුලින් ම මෙම පාංශු ස්තරයන් වගා කටයුතු කිරීමට ප්‍රශස්ත තත්ත්වයකට පත් කළ යුතු අතර ඉන් අනතුරව හරිතාගාරයක් භාවිත කර මෙම නිරූපණයේ දැක්වෙන ආකාරයට වගා කටයුතු කිරීමට හැකි වනවා. මේ සඳහා අවශ්‍ය ජලයද ආවාටයන්හි ඇති අයිස් මගින් ලබා ගැනීමට පුළුවන්.

ඊළඟට අවධානය යොමු කළ යුත්තේ චන්ද්‍රයා මතුපිට වායුගෝලයක් හෝ චුම්භක ක්ෂේත්‍රයක් නොමැති නිසා මෙම ජනාවාසයේ ජීවත්වන මිනිසුන්ව බාහිර අවකාශයෙන් පැමිණෙනා විකිරණවලින් සහ කුඩා ග්‍රහක කැබලිවලින් (micrometeorites) ආරක්ෂා කර ගැනීමයි. ඒ සඳහා මෙම නිරූපණයේ දැක්වෙන ආකාරයට මිනිසුන් ජීවත් වන කුටි චන්ද්‍රයා මතුපිට ඇති පාංශු ස්තර භාවිත කර වසා තැබීමට පුළුවන්. මෙලෙස අඩි දෙකක පමණ ඝනකමක් ඇති  පාංශු ස්තරයක් මිනිසුන් සිටිනා කුටි මත තැන්පත් කිරීම මගින් අවකාශයෙන් පැමිණෙන ගැමා කිරණ, කොස්මික් කිරණ වැනි හානිකර විකිරණයන්ගෙන් සහ කුඩා ග්‍රහක කැබලිවලින් මෙහි ජීවත්වන මිනිසුන්ව සම්පූර්ණයෙන් ම වාගේ ආරක්ෂා කිරීමට හැකි වනවා.

මෙයින් ඔබට පැහැදිලි වනවා ඇති චන්ද්‍රයා මතුපිට නිත්‍ය මිනිස් ජනාවාසයක් ඇතිකිරීමට අවශ්‍ය තාක්ෂණය සහ සම්පත් මේ වනවිටත් මිනිසා සතුව ඇති බව ත් එනිසා බොහෝ දුරට 2030 දශකය මුල් භාගයේදී චන්ද්‍රයා මතුපිට නිත්‍ය මිනිස් ජනාවාසයක් ඇතිකිරීමට හැකිවනු ඇති බව ත්.

අවසාන වශයෙන් මෙලෙස චන්ද්‍රයා මතුපිට නිත්‍ය මිනිස් ජනාවාසයක් ඇති කිරීමට අවශ්‍ය වන හේතුව ගැන අවධානය යොමු කළොත් එය වන්නේ මිනිස් ශිෂ්ටාචාරය දිගට ම පැවතීම සඳහා එය අනිවාර්යයෙන් ම පෘථිවියෙන් පරිබාහිර වෙනත් ග්‍රහලෝක සහ චන්ද්‍රයන් වෙත ව්‍යාප්ත කිරීම අත්‍යවශ්‍ය වීමයි. එසේ නොකළහොත් ග්‍රහක ගැටුමක්, න්‍යෂ්ටික යුද්ධයක් හෝ පෘථිවිය මත පරිසර තත්ත්වයන් වෙනස් වීම වැනි සාධකයක් මත පෘථිවිය ජීවයට නුසුදුසු වුවහොත් එය මිනිස් ශිෂ්ටාචාරයේ අවසානය වනු ඇති.

එබැවින් අඟහරු, බ්‍රහස්පතිගේ චන්ද්‍රයන්, සෙනසුරුගේ චන්ද්‍රයන් හෝ සෞරග්‍රහ මණ්ඩලයෙන් සම්පූර්ණයෙන් ම පරිබාහිරව ඇති වෙනත් ග්‍රහ පද්ධතියක (මේ වන විටත් සෞරග්‍රහ මණ්ඩලයට පරිබාහිර වෙනත් ග්‍රහලෝක 5000කට වඩා අප විසින් සොයා ගනු ලැබ තිබෙනවා) මිනිස් ජනාවාස ඇති කිරීම සඳහා මූලිකම අඩිතාලම තැබිය යුත්තේ පෘථිවියට ආසන්නයෙන් ම ඇති අභ්‍යවකාශ වස්තුව වන පෘථිවියේ චන්ද්‍රයා මතුපිට නිත්‍ය මිනිස් ජනාවාසයක් ඇති කිරීමෙනි.

අභ්‍යවකාශ විද්‍යාව පිළිබඳව මෙවැනි නවතම කරුණු දැනගැනීමට ඔබ කැමතිනම් ඔබට මගේ ‍‍Astrophysics 101 You Tube නාළිකාව සමග එකතු වීමට පුළුවන්.

  • ගිහාන් වීරසේකර
    (කථිකාචාර්ය – Eng.)

උපුටා ගැනීමකි.. 
Share This Article
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
ලෝක ළමා දිනය වගේම ලෝක වැඩිහිටියන්ගේ දිනය මූලික කරගෙන මේ දවසට මනාව ගැළපෙන, අපේ...
Hiru Tv Blog
ලොව පුරා අතිශය ජනප්‍රියත්වයට පත් පොප් සංගීත රැජිනක වන ටේලර් ස්විෆ්ට් (Taylor Swift)...
Hiru Tv Blog
ජනප්‍රිය Netflix රංගන ශිල්පිනියක වන මෛත්‍රී රාමක්‍රිෂ්ණන්ගේ (Maitreyi Ramakrishnan) අනන්‍යතාව...
Hiru Tv Blog
කෘත්‍රිම බුද්ධිය එසේත් නැතිනම් AI (Artificial Intelligence) යන නාමය වෙනුවට එය "සුපිරි බුද්ධිය"...
Hiru Tv Blog
චීනය තුළ කෘත්‍රිම බුද්ධි (AI) තාක්ෂණය වේගයෙන් ව්‍යාප්ත වීමත් සමඟ එරට වෘත්තීය...
Hiru Tv Blog
කෘත්‍රිම බුද්ධි (AI) ඉතිහාසයේ මෙතෙක් වාර්තා නොවූ අන්දමේ දැවැන්ත සහ භයානක සිදුවීමක්...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top