ජාත්‍යන්තර අභ්‍යවකාශ මධ්‍යස්ථානය කඩා වැටෙන්නට නියමිත ද? (Photos)
Sunday, 30 April 2023 - 9:43 | Views - 674

ඇත්තටම ජාත්‍යන්තර අභ්‍යවකාශ මධ්‍යස්ථානය යනු කුමක්ද?  මා ඔබෙන් ඒ පැනය විමසුවහොත් ඔබ ලබා දෙන්නේ කවර පිළිතුරක්ද?  විද්‍යා ප්‍රබන්ධයක් හා 1940 ගණන්වල පරිකල්පනයක් ලෙස පැවැති අභ්‍යවකාශ මධ්‍යස්ථානයක් යන සංකල්පය වර්තමානයේ   යථාර්ථයක්  වී ඇති බව ඔබ මා කවුරුත් හොඳින් දන්නා දෙයකි. දිනෙන් දින නැවුම් වෙමින් අහස් ගැබ පීරා ඒ තුළම නිවාසයක් තනා ගනිමින් ජීවත් වන්නට මිනිසා ගත් අනභිභවනීය උත්සාහයේ විපුල ඵල වර්තමානයේ ඔබ මා භුක්ති විඳිමින් සිටිමු. අදත් සෑම සතියකදීම මෙන් ‘මව්බිම’ galaxy පිටුවේ අපි මේ සූදානම් වන්නේ ඔබගේ ඇස් මානයේ තරු විදු නැණින් පිරිපුන් සොඳුරු කතාබහක යෙදීමටයි. දිනෙන් දින නවමු නිවැරදි අර්ථවත් තොරතුරු ඔබට ඉදිරිපත් කරන අපගේ අද සූදානම  ජාත්‍යන්තර අභ්‍යවකාශ මධ්‍යස්ථානය පිළිබඳව තොරතුරු ගොනු කිරීමටයි. අන්තර්ජාතික අභ්‍යවකාශ

මධ්‍යස්ථානය යනු,

අන්තර්ජාතික අභ්‍යවකාශ මධ්‍යස්ථානය හෝ ජාත්‍යන්තර අභ්‍යවකාශ මධ්‍යස්ථානය යන නම්වලින් හඳුන්වා දෙන ලොව සිටින බොහෝ දෙනා අතර කතා බහට ලක් වන මානව වර්ගයා විසින් මෙතෙක් ගොඩ නඟා ඇති මිල අධිකම වස්තුවයි. International Space Station හෝ කෙටියෙන් ISS ලෙස හඳුන්වා දෙනු ලබන මෙය පහළ පෘථිවි කක්ෂයේ පිහිටුවා ඇති අභ්‍යවකාශ මධ්‍යස්ථානයකි. මෙම අභ්‍යවකාශ මධ්‍යස්ථානය පෘථිවියේ සිට පියවි ඇසින් ‍දැකගැනීමට හැකිය. එය පෘථිවි පෘෂ්ඨයෙන් දළ වශයෙන් කිලෝමීටර් 408ක් (හැතැප්ම 253) උසින් පවතින අතර එය පැයට කිලෝමීටර් 27,580ක දළ වේගයකින් ගමන් කරමින් දිනකට කක්ෂ 15.49ක් සම්පූර්ණ කරයි.

අන්තර්ජාතික අභ්‍යවකාශ මධ්‍යස්ථානයේ ආරම්භය

1950 ගණන්වල අභ්‍යවකාශ යුගය ආරම්භ වූ විට “අභ්‍යවකාශ ගුවන් යානා” සහ ස්ථාන සැලසුම් පිළිබඳව මාධ්‍යවල ජනප්‍රිය විය. ඒ අනුව පළමු ප්‍රාථමික මධ්‍යස්ථානය 1969දී නිර්මාණය කරන ලද්දේ රුසියානු සොයස් වාහන දෙකක් අභ්‍යවකාශයේ සම්බන්ධ කිරීමෙනි. ඉන්පසුව වෙනත් ස්ථාන සහ අභ්‍යවකාශ තාක්‍ෂණයේ වර්ධනයන් සිදු වන අතරම 1998දී ISS හි ඉදිකිරීම් ආරම්භ විය. අන්තර්ජාතික අභ්‍යවකාශ මධ්‍යස්ථානය නිර්මාණය කිරීමට වසර 10කට වැඩි කාලයක් ගත විය. එය මෙහෙයුම් 30කට අධික ක්‍රියාවලියක් විය. අන්තර්ජාතික අභ්‍යවකාශ මධ්‍යස්ථානය අභ්‍යවකාශ ආයතන පහක් හා  රටවල් 15ක් නියෝජනය කරන අපූරු නිර්මාණයකි. පෙර නොවූ විරූ විද්‍යාත්මක සහ ඉන්ජිනේරු සහයෝගිතාවක ප්‍රතිඵලයකින් බිහි වූ අභ්‍යවකාශ මධ්‍යස්ථානය ආසන්න වශයෙන් පාපන්දු පිටියක් තරම් විශාලත්වයක් දරයි. ටොන් 460ක ස්ථීර කාර්ය මණ්ඩලයක් සහිත වේදිකාවක් දරන මෙය  රුසියානු අභ්‍යවකාශ මධ්‍යස්ථානය වන මීර් මෙන් හතර ගුණයක් විශාල වේ. තවද විශාලත්වය අතින් එක්සත් ජනපද ස්කයිලැබ් මෙන්  පස් ගුණයක් වේ. අභ්‍යවකාශ මධ්‍යස්ථානයේ අභ්‍යන්තර පීඩන පරිමාව Boeing 747 යානයකට සමාන වේ.

අන්තර්ජාතික අභ්‍යවකාශ මධ්‍යස්ථානයට ළඟා වීම

පළමුව නේවාසික කණ්ඩායමක් අන්තර්ජාතික අභ්‍යවකාශ මධ්‍යස්ථානයට ළඟා වූයේ 2000 නොවැම්බර් 2 වැනිදාය. එදා  සිට නොකඩවා එය ජනයාගෙන් යුක්ත වූ බැවින් මේ හරහා මිනිසුන් අභ්‍යවකාශයෙහි ස්ථීර පදිංචිකරුවන් බවට පත්ව ඇත.

වර්තමානයේ දී මෙහි ඉඩපහසුකම් ඇත්තේ හයදෙනකුගේ කණ්ඩායමකටය. මුල් කණ්ඩායමේ සහභාගි වූ සාමාජිකයන් සියලු දෙනා පැමිණියේ රුසියාවෙන් සහ ඇමරිකාවෙනි. 2006 ජූලි මාසයේදී ESA ගගනගාමී ජර්මානු ජාතික තෝමර් රයිටර් විසින් එක්ස්පඩිෂන් 13 කණ්ඩායමට එක්වූයේ වෙනත් අභ්‍යවකාශ ඒජන්සියකින් පැමිණි ප්‍රථම සාමාජිකයා ලෙස වාර්තා ගත වෙමිනි. නමුත් මේ වන විට මධ්‍යස්ථානය ගවේෂණ කිරීමට රටවල් 16ක ගගනගාමීන්ට හැකිවී තිබේ.

අන්තර්ජාතික අභ්‍යවකාශ මධ්‍යස්ථානයේ ක්‍රියාවලීන්

වර්තමානය වන විට පුද්ගලයන් හත් දෙනකුගෙන් යුත් ජාත්‍යන්තර කාර්ය මණ්ඩලයක් තත්පරයට සැතපුම් පහක වේගයෙන් ජාත්‍යන්තර අභ්‍යවකාශ මධ්‍යස්ථානය තුළ සෑම මිනිත්තු 90කට වරක් පෘථිවිය වටා කක්ෂගත වෙමින් ජීවත් වේ. සමහර විට කාර්යමණ්ඩල භාරදීමකදී තවත් පිරිසක් අභ්‍යවකාශ නැවතුම්පොළට ගොඩ වෙති. පැය 24ක් තුළ අභ්‍යවකාශ මධ්‍යස්ථානය පෘථිවි කක්ෂ 16ක් සිදු කරයි. හිරු උදාව සහ හිරු බැස යෑම් 16ක් හරහා ගමන් කරයි. අභ්‍යවකාශ මධ්‍යස්ථාන නැවැතුම්පොළ බලගන්වන්නේ සූර්ය පැනල මඟිනි. පරිගණක 50කට වැඩි ප්‍රමාණයක් මඟින් අභ්‍යවකාශ මධ්‍යස්ථාන පද්ධතිය  පාලනය කරයි.

අන්තර්ජාතික අභ්‍යවකාශ මධ්‍යස්ථාන ව්‍යාපෘතියේ අයිතිකරුවෝ

අන්තර්ජාතික අභ්‍යවකාශ මධ්‍යස්ථානය යනු ඇමරිකා එක්සත් ජනපදයේ (නාසා), රුසියාවේ (රොස්කොස්මොස්), ජපානයේ (JAXA), කැනඩාවේ (CSA), සහ යුරෝපීය රටවල් විසිදෙකක (ESA) අභ්‍යවකාශ ඒජන්සි විසින් හවුලේ කරගෙන යනු ලබන ව්‍යාපෘතියකි. බ්‍රසීලියානු අභ්‍යවකාශ ඒජන්සිය (ඒඡ්ඕ, බ්‍රසීලය) නාසා ආයතනය සමඟ වෙනම ගිවිසුමක් හරහා මෙම ව්‍යාපෘතියට සම්බන්ධ වේ. එසේම ESA නැතිනම් යුරෝපීය හවුලට අයත් ඉතාලියද ESA හි කාර්යභාරයට අයත් නොවන විවිධ ක්‍රියාකාරකම් සඳහා වෙනම ගිවිසුම් ඇති කරගෙන තිබේ. චීනය මේ සඳහා තවමත් හවුල් වී නොමැති නමුත් රුසියානු ඒජන්සිය සමඟ එක්ව කටයුතු කිරීමට ඉඩ ලැබෙන්නේ නම් ඔවුන් ද මේ ව්‍යාපෘතියට උනන්දු වන බව වාර්තා වී ඇත.

අන්තර්ජාතික අභ්‍යවකාශ මධ්‍යස්ථානයේ අලුත්වැඩියා කටයුතු.

මධ්‍යස්ථානයේ අලුත්වැඩියා කටයුතු මුලිකව සිදුකරන්නේ රුසියානු සොයස් සහ ප්‍රොග්‍රස් අභ්‍යවකාශ යානා මඟිනි. 2008 වසරේ මාර්තු 9 වැනිදා කිලෝග්‍රෑම් 8,000කට අධික භාණ්ඩ ප්‍රමාණයක් ද සමඟ අන්තර්ජාතික අභ්‍යවකාශ මධ්‍යස්ථානය  කරා ගුවන්ගත කෙරිණි. 2008 අප්‍රේල් 3 වැනිදා එම භාණ්ඩ සාර්ථකව ලබා ගන්නා ලද බවද වාර්තා වේ. ආරම්භයේ සිට 2010 දක්වා ISS සඳහා වැය වී ඇති මුදල ආසන්න වශයෙන් ඩොලර් බිලියන 150ක් වන අතර මානව වර්ගයා විසින් මෙතෙක් ගොඩනඟා ඇති මිල අධිකම වස්තුව මෙය වේ.

ජාත්‍යන්තර අභ්‍යවකාශ මධ්‍යස්ථානයේ ගගනගාමීන්

අඩු ගුරුත්වාකර්ෂණයේදී මිනිස් සිරුරේ මාංස පේශී සහ අස්ථි ස්කන්ධය නැතිවීම අවම කිරීම සඳහා ගගනගාමීන් අවම වශයෙන් දිනකට පැය දෙකක්වත් ක්‍රියා කරයි. ගගනගාමීන් අභ්‍යවකාශ මධ්‍යස්ථාන ඉදිකිරීම, නඩත්තු කිරීම සහ වැඩිදියුණු කිරීම්  නිතිපතා  සිදු කරයි. දිනකට ගැලුම් 1ක පමණ සිට ගැලුම් තුනෙන් එකක් දක්වා ජාත්‍යන්තර අභ්‍යවකාශ මධ්‍යස්ථානය වෙත ජලය සපයනු ලබන අතරම ජල ප්‍රතිසාධන පද්ධතිය මඟින් භාණ්ඩ ප්‍රවාහන අභ්‍යවකාශ යානයක් මඟින් ඒවා ලබා දේ. On-orbit මෘදුකාංගය ආසන්න වශයෙන් සංවේදක 350,000ක් නිරීක්ෂණය කරයි. එමඟින්  කාර්ය මණ්ඩලයේ සෞඛ්‍ය සහ ආරක්ෂාව සහතික කරයි.

ISS නිරීක්ෂණය කරන්නේ කෙසේද?

නාගරික හා ග්‍රාමීය ප්‍රදේශවල වෙසෙන  විශාල අහස් කුස පීරා නිරීක්ෂණ සොයන්නන්ට මෙය හොඳ ඉලක්කයකි. ISS හ¾දුනාගැනීම සඳහා එය පියවි ඇසින් දැකිය හැකි බැවින් විශේෂඥ උපකරණ අවශ්‍ය නොවේ. ඔබ දැනගත යුත්තේ එහි පිහිටීම කොතැනද යන්න පමණයි. ජාත්‍යන්තර අභ්‍යවකාශ මධ්‍යස්ථානය අපගේ හිසට ආසන්න වශයෙන් කිලෝමීටර් 400ක් පමණ  ඉහළින් කක්ෂගත වන බහු-ජාතික රසායනාගාරයක් නිසා පෘථිවියේ සිට පහසුවෙන් දැක බලා ගත හැකි වීම පුදුමයක් නොවේ. එහි දැවැන්ත ව්‍යුහය සූර්යාලෝකය පරාවර්තනය කරන අතර අහසේ දීප්තිමත් සුදු ආලෝකයක් ලෙස දිස්වේ. නාසා ආයතනයට අනුව සඳ හැර සාමාන්‍යයෙන් අහසේ දීප්තිමත්ම වස්තුව ලෙස එය දිස්වනු ඇත. නගරයක් මැද සිට පවා එය පහසුවෙන් දැකගත  හැකිය. රාත්‍රි අහසේ විනෝදජනක සහ සිත්ගන්නා නිරීක්ෂණ ඉලක්කයක් බවට පත් වී  ඇති එහි පිහිටීම සහ චලනය

ඉතා නිරවද්‍යතාවයෙන් නිරීක්ෂණය කිරීම සඳහා නාසා හි ස්පොට් ද ස්ටේෂන් වෙබ් අඩවිය ඔබට  උදවු වේ. රාත්‍රි අහස අනතුරු ඇඟවීම් සමඟින් රාත්‍රි අහසේ හ¾දුනා ගැනීමට පහසුම වස්තුවලින් එකකි අන්තර්ජාතික අභ්‍යවකාශ මධ්‍යස්ථානය. ඊට අමතරව NASA හි Spot the Station වෙබ් අඩවියෙහි ලියාපදිංචි වීම මඟින්  අභ්‍යවකාශ මධ්‍යස්ථානය පියාසර කරන විට ඔබට විද්‍යුත් තැපෑල හෝ කෙටි පණිවුඩ ලබා දේ. එවිට ඔබට නැවත කිසිදා ISS නැරඹීමේ අවස්ථාවක් මඟ හැරෙන්නේ නැත. ඔබට NASA හි Spot the Station අනතුරු ඇඟවීම් ලැබෙන්නේ අවම වශයෙන් අංශක 40ක උපරිම උසකින් ISS පසු කරන විට පමණක් බව සඳහන් කළ යුතුය. මෙයට හේතුව ISS මෙම උසින් බොහෝ භූ දර්ශනවලට ඉහළින් දිස් වීමයි.

ඔබ දැන් අභ්‍යවකාශ මධ්‍යස්ථානය කොහිදැයි දැන ගැනීමට කැමැති නම් ESA හි සජීවී සිතියම මඟින් ද එය දැනගත හැකිය. ISS ඇති ස්ථානය මෙන්ම එහි වේගය සහ උන්නතාංශය  එමඟින් පෙන්වනු ලබයි.

ජාත්‍යන්තර අභ්‍යවකාශ මධ්‍යස්ථානය ඡායාරූපකරණය

ලොව පුරා සිටින තාරකා ඡායාරූප ශිල්පීන් ISS අහස පුරා විහිදෙන බව පෙන්වන ලස්සන දිගු-නිරාවරණ ඡායාරූප අරගෙන ඇත. බිම් මට්ටමේ සිට නිරීක්ෂණය කරන නිරීක්ෂකයාට ISS අහස හරහා ඉක්මනින් ගමන් කරන දීප්තිමත් ලක්ෂ්‍යයක් ලෙස දිස්වනු ඇත. එය ගුවන් යානයකට සමාන නමුත් කිසිදු දිලිසෙන විදුලි පහන් නොමැති වුවද දීප්තිමත් වේ. ඔබ විශාල නගරයක ජීවත් වුවද සමහර විට ඔබට අලුයම හෝ සවස් වන විට අහස දෙස බලා ඔබේ නිවෙසට ඉහළින් අභ්‍යවකාශ යානය පියාසර කරන ආකාරය දැක ගත හැකිය.

ජාත්‍යන්තර අභ්‍යවකාශ මධ්‍යස්ථානයේ රසවත් තතු

අභ්‍යවකාශ යානා අටක් එකවර අභ්‍යවකාශ මධ්‍යස්ථානයට සම්බන්ධ කළ හැකිය. පෘථිවියෙන් අභ්‍යවකාශ ගත වී පැය හතරක් ඉක්ම ගිය පසු අභ්‍යවකාශ මධ්‍යස්ථානයට යානයක් පැමිණිය හැකිය. විවිධ භාණ්ඩ ප්‍රවාහනය සඳහා අභ්‍යවකාශ යානා හතරක් භාවිත වේ. Northrop Grumman’s Cygnus, SpaceX’s Dragon, JAXA’s HTV යනු ඒවාය. Expedition 60 හරහා ක්ෂුද්‍ර ගුරුත්වාකර්ෂණ විද්‍යාගාරය රටවල් 108කට වඩා වැඩි ගණනක පර්යේෂකයන්ගෙන් පර්යේෂණ විමර්ශන 3,000කට ආසන්න ප්‍රමාණයක් පවත්වා ඇත. ජාත්‍යන්තර අභ්‍යවකාශ මධ්‍යස්ථානයේ කක්ෂීය මාර්ගය ඔස්සේ එය වෙත පෘථිවි ජනගහනයෙන් සියයට 90කට වඩා ගෙන යා හැකිය. තවද අභ්‍යවකාශ මධ්‍යස්ථානයට  සඳට සමාන දුරක් ගමන් කර දිනකින් පමණ ආපසු පැමිණිය හැකිය.

ජාත්‍යන්තර අභ්‍යවකාශ මධ්‍යස්ථානය 2031දී පෘථිවියට කඩා වැටෙනවාද?

2031දී ISS ශාන්තිකර සාගරයට අත්හැරීමට NASA ආයතනය සැලසුම් කරන බව BBC පුවත් සේවය පෙන්වා දෙයි. ජාත්‍යන්තර අභ්‍යවකාශ මධ්‍යස්ථානය ISS 2030 වසර දක්වා භාවිතයේ පවතිනු ඇති බවත් අනතුරුව 2031 වසරේ මුල්භාගයේ දී ශාන්තිකර සාගරයට කඩා වැටෙනු ඇති බව NASA ආයතනය ප්‍රකාශ කරයි. එක්සත් ජනපද අභ්‍යවකාශ ආයතනය ගිය සතියේ වාර්තාවක් නිකුත් කරමින් පැවැසුවේ ISS ශාන්තිකර සාගරයේ “පොයින්ට් නීමෝ” යනුවෙන් හැඳින්වෙන ප්‍රදේශයට කඩා වැටෙනු ඇති බවයි. මෙය පෘථිවියේ ගොඩබිමකට වඩාත්ම අෑතින් පිහිටන සාගර ප්‍රදේශය වන අතර එය අභ්‍යවකාශ යානා සුසානය ලෙසද හ¾දුන්වනු ලැබේ. 2001 වසරේ දී කඩා වැටුණු ‘මීර්’ නම් රුසියානු අභ්‍යවකාශ මධ්‍යස්ථානයද ඇතුළු බොහෝ පැරණි චන්ද්‍රිකාවන් හා අනෙකුත් අභ්‍යවකාශ සුන්බුන් ද මෙම ස්ථානයට කඩා වැටී ඇත.

විශ්‍රාම ගන්වන්නේ ඇයි?

නාසා ආයතනයේ වාණිජමය අභ්‍යවකාශ කටයුතු පිළිබඳ අධ්‍යක්ෂ ෆීල් මැක්ඇලිස්ටර් සඳහන් කරන්නේ පෘථිවියේ පහළ කක්ෂයේ එනම්, පෘථිවියට ආසන්න ප්‍රදේශයේ ක්‍රියාකාරකම් වාණිජ අංශයට පැවැරීමට සූදානමක් ඇති නිසා මේ පියවර ගැනීමට අදහස් කර ඇති බවයි. 2020 වසරේදී ජාත්‍යන්තර අභ්‍යවකාශ මධ්‍යස්ථානයට සුදුසු එක් මොඩියුලයක් සවි කිරීමට නාසා ආයතනය විසින් එක්සත් ජනපදයේ ටෙක්සාස් ප්‍රාන්තයේ පිහිටි අභ්‍යවකාශ සමාගමක් වන ‘‘ඇක්සියම් ස්පේස්’’ වෙත කොන්ත්‍රාත් පදනමට භාර දී තිබේ. ඒ අතරම නාසා ආයතනය විසින් තවත් සමාගම් තුනකටද අභ්‍යවකාශ මධ්‍යස්ථානයන් හා පෘථිවි කක්ෂයේ පිහිටුවිය හැකි වෙනත් වාණිජමය ගමනාන්තයන් සඳහා පිරිසැලසුම් නිර්මාණය කිරීමට අරමුදල් සපයා තිබේ.

ජාත්‍යන්තර අභ්‍යවකාශ මධ්‍යස්ථානය විශ්‍රා‍ම ගැන්වීමට පෙරාතුව මෙම නව ව්‍යාපෘතීන් අර්ධ වශයෙන් හෝ ක්‍රියාකාරී තත්ත්වයෙන් පැවැතිය හැකි බැව් සඳහන් කරන නාසා ආයතනය පවසන්නේ, පෘථිවියේ පහළ කක්ෂය ඇමරිකාවේ දැවැන්ත වාණිජ ආර්ථිකයක් නිර්මාණය කරන පෙරනිමිති දැනටමත් පහළ වී ඇති බවයි. මේ වෙන විටත් ඇමරිකා එක්සත් ජනපදය අභ්‍යවකාශ වැඩසටහනේ වැදගත් අංගයක් බවට පත්වී අවසානයි. ඊට සම්බන්ධ පුද්ගලයන් සහ බඩුබාහිරාදියත් අභ්‍යවකාශයට ප්‍රවාහනය කරන්නේ පෞද්ගලික සමාගම් විසින් වන අතර රුසියාවේ සෝයස් සහ ප්‍රෝගෙස් යන අභ්‍යවකාශ යානාවන්ද මෙහිදී යොදා ගෙන ඇත.

සෑම අසමසම නිර්මාණයකට වුවද ආයු කාලයක් පවතී. ඉතින් ජාත්‍යන්තර අභ්‍යවකාශ මධ්‍යස්ථානයත් විශ්‍රාම යෑමට සූදානම් වීම පුදුමයක් නොවේ. තාක්ෂණික ප්‍රගමනයේ යෝධ පිම්මක් ලෙස නිම වන තවත් අභ්‍යවකාශ මධ්‍යස්ථානයකට ඇතුළු වී දැක  බලා ගැනීමට ඔබටද යම් දිනෙක හැකි වේවි. තාක්ෂණයේ ප්‍රගමනය හමුවේ සොබාදහමේ  තවත් අපූරු නැවුම් පැතිකඩ විමසීමට ඉදිරියේදී ඔබටත් මටත් තව තවත් මෙමඟින් හැකියාව ලැබේ. තවත් මෙවැනිම අර්ථවත් විවරණයක් තුළින් ලබන සතියෙත් ඔබ වෙතට එමි. මඟ නොහැර එක දිගට තරු ලොවේ කිමිදීමට සෑම සතියකම galaxy පිටුව කියවන්න ඔබටත් ආරාධනා.




චතුනි හිරුෂිකා
මව්බිම 



Share This Article
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
ලෝක ළමා දිනය වගේම ලෝක වැඩිහිටියන්ගේ දිනය මූලික කරගෙන මේ දවසට මනාව ගැළපෙන, අපේ...
Hiru Tv Blog
ලොව පුරා අතිශය ජනප්‍රියත්වයට පත් පොප් සංගීත රැජිනක වන ටේලර් ස්විෆ්ට් (Taylor Swift)...
Hiru Tv Blog
ජනප්‍රිය Netflix රංගන ශිල්පිනියක වන මෛත්‍රී රාමක්‍රිෂ්ණන්ගේ (Maitreyi Ramakrishnan) අනන්‍යතාව...
Hiru Tv Blog
කෘත්‍රිම බුද්ධිය එසේත් නැතිනම් AI (Artificial Intelligence) යන නාමය වෙනුවට එය "සුපිරි බුද්ධිය"...
Hiru Tv Blog
චීනය තුළ කෘත්‍රිම බුද්ධි (AI) තාක්ෂණය වේගයෙන් ව්‍යාප්ත වීමත් සමඟ එරට වෘත්තීය...
Hiru Tv Blog
කෘත්‍රිම බුද්ධි (AI) ඉතිහාසයේ මෙතෙක් වාර්තා නොවූ අන්දමේ දැවැන්ත සහ භයානක සිදුවීමක්...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top