
ඩයිනසෝරයන් අතරින් වඩාත්ම ජනප්රිය, ලොකු කුඩා කවුරුත් බොහොම හොඳින් දන්නා ඩයිනසෝරයා ‘ටයිරැනසෝරස් රෙක්ස්’ එසේත් නැතිනම් ‘ටී රෙක්ස්’ ය. ‘ටී රෙක්ස්’ ඩයිනසෝර රජු ලෙස සැලකෙයි. ‘ටී රෙක්ස්’ ඩයිනසෝර රජු නම්; ටී රෙක්ස්ගේ ආදීතමයන් එසේත් නැතිනම් මුතුන් මිත්තන් කවුරුන්ද? ‘ටී රෙක්ස්’ බිහිසුණු ඩයිසරෝයකු බවට පරිණාමය වූයේ කෙසේද? මේ ප්රශ්නවලට හරිහැටි පිළිතුරු පොසිල විද්යාඥයන් සතු වූයේ නැහැ; මේ වනතුරුම. දැන්, පොසිල විද්යාඥයන් පවසන්නේ, ඔවුන්ට ටී රෙක්ස්ගේ ආදීතමයා කවුරුන්දැයි හඳුනා ගැනීමට හැකිවී ඇති බවය. ඒ, ඇස්වටා අං ඇති නව ‘ටයිරැනසෝර්’ විශේෂයක පොසිල අස්ථි හමුවීමත් සමඟය.
පොසිල විද්යාඥයන් මෙම නව ඩයිනසෝරයා නම් කර ඇත්තේ, ‘ඩැස්ප්ලේටෝසෝරස් විල්සෝනී’ Daspletosaurus Wilsoni යන නමිනි. විද්යාඥයන්ට මෙම ඩයිනසෝරයාගේ පොසිල අස්ථි කොටස් කීපයක් හමුවී තිබේ. කාල නිර්ණය අනුව, ඩයිනසෝරයා ජීවත් වන්න ඇත්තේ අවුරුදු මිලියන 76.5 කට පෙරය. ඒ අනුව, මේ ඩයිනසෝරයා, සෘජුව ‘ටී රෙක්ස්’ පවුලේ ඥාතියෙකු යැයි විද්යාඥයන්ගේ අදහසය. ‘ඩැස්ප්ලේටෝසෝරස්’ යනු ග්රීක වදනකි. එහි අරුත ‘බිහිසුණු උරගයා’ යන්නය.
පොසිල විද්යාඥයන්ට ඩැස්ප්ලේටෝසෝරස් විල්සෝනී පොසිල අස්ථි හමුවූයේ ඇමෙරිකාවේ මොන්ටානා ප්රාන්තයේ සිදු කරන කැණීම්වලිනි. මුලින්ම හමුවුණු සහ පසුකාලීනව හමුවුණු ටයිරැනසෝරස් රෙක්ස් විශේෂ අතරේ ‘අහිමි පුරුක’ (missing link) ඩැස්ප්ලේටෝසෝරස් විල්සෝනී යැයි විද්යාඥයන්ගේ විශ්වාසයයි. මීට පෙර විද්යාඥයන්ට කැණීම්වලදී හමුවුණු පැරැණිතම ටයිරැනසෝරස් රෙක්ස් ඩයිනසෝරයන්ගේ පොසිල අස්ථිවල ලක්ෂණ, ඩැස්ප්ලේටෝසෝරස් විල්සෝනීගේ දකින්න ලැබේ. හොඳම උදාහරණය නම්, මෙම සත්වයාගේ ඇස් වටා තිබුණු කුඩා අං වැනි අස්ථි නෙරීම්ය. ඒ වගේමයි ‘ටී රෙක්ස්’ ඩයිනසෝරයන්ගේ ඇති ආකාරයට, හිස් කබලේ ගැඹුරු අක්ෂි කුහර මෙන්ම වායු කුහර ද දකින්න ලැබේ.
‘ඩැස්ප්ලේටෝසෝරස් විල්සෝනී’ පොසිල අස්ථි කොටස් සොයා ගැනීමට සමත් වී ඇත්තේ උතුරු ඩෙකෝටා ජනපදයේ ‘බෑඩ්ලෑන්ඩ්’ ඩයිනසෝර් කෞතුකාගාරයේ පොසිල විද්යාඥයන්ය. ඩයිනසෝරයාගේ ඉළ ඇට සහ පා ඇඟි අස්ථියක් ද ඔවුන්ට හමුවී තිබේ. ඒ, ‘ජූඩිත් රිවර් ෆෝමේෂන්’ කැණීම් භූමියේ සිදු කළ ගවේෂණවලදීය. විද්යාඥයන්ට ‘ඩැස්ප්ලේටෝසෝරස් විල්සෝනී’ අස්ථි හමුවූයේ 2017 සිට 2021 දක්වා කළ කැණීම්වලදීය. මුලින්ම අස්ථි සොයා ගැනීම කළේ විද්යාඥයන්ගේ සහායක ලෙස කටයුතු කළ ජැක් විල්සන්ය. කුඩා පැතලි අස්ථි කොටසක් කඳු ගැටයකින් ඉවතට නෙරාවිත් ඇති බව දුටුවේ විල්සන් ය. ඒ අනුව ඒම ස්ථානයේ කැණීම් සිදු කෙරුණි. විල්සන් දැක තිබුණු කුඩා නෙරුම, ‘ඩැස්ප්ලේටෝසෝරස් විල්සෝනී’ ගේ හිස් කබලේ ඉදිරි කෙළවර කොටසය.
පොසිල අස්ථි මතුකර ගැනීම අසීරු කටයුත්තක් විය. ඒ, එය ඉතා ප්රවේසමෙන් කළ යුතු නිසාය. අස්ථි තිබුණේ පස් සහ ගල් තට්ටු යට අඩි 25 ක් පහළිනි. ජැක් හැමර් විදින කටු භාවිතයට ගනිමින් සෙමින් සෙමින් පස් සහ ගල් ස්ථර කොටස් එකිනෙක කඩා සිදුරු කරමින් විද්යාඥයන් පොසිල අස්ථි මතු කර ගත් බව පැවැසෙයි. ඒ සඳහා වසර දෙකක් පමණ ගත වී තිබේ. ඒය ඉතා වෙහෙසකර කටයුත්තක් වූ බව අමුතුවෙන් කිවයුතු නැත.
ටයිරැනසෝරස් රෙක්ස් (Tyrannosaurus Rex) යනු පසුපස ගාත්රාවලින් (දෙපයින්) ගමන් කළ මාංශභක්ෂක, කසල භක්ෂක ඩයිනසෝර දැවැන්තයෙකි. මීට වසර මිලියන 68-66 කට පෙර, අද උතුරු ඇමරිකාවට අයත් පළාත්වල වාසය කර ඇත. ඒ බව අනාවරණය වී ඇත්තේ පොසිල අස්ථි හමුවීම මතය. දිග අඩි 40 (මීටර් 12) කි. උස අඩි 12 (මීටර් 4) කි. ‘ටී රෙක්ස්’ පොසිල නිදර්ශක 50 කට වැඩි ප්රමාණයක් අද වන විට එකතු සොයා ගැනීමට සමත් වී තිබේ. සෙසු ඩයිනසෝරයන් සමඟ සන්සන්දනයේදී ටයිරැනසෝරස් රෙක්ස්ගේ හකුපාඩා ඉතාමත් ශක්තිමත්ය.
- ඩේලිමේල් ඇසුරිනි
- උපුටා ගැනීමකි..
110 Views
134 Views
187 Views
197 Views
85 Views
153 Views
157 Views
179 Views
99 Views
132 Views
589 Views
269 Views
272 Views
74 Views
45 Views
44 Views
38 Views