මම නිහඬ වෙන්නේ කවුරුත් මගේ හඬ අවදි නොකරන නිසා- දැන් ඔක්කොම හයිබ්‍රිඩ් වෙලා
Friday, 20 July 2018 - 11:16 | Views - 1,742
ජනශ්‍රැති පර්යේෂකයෙක්, ප්‍රවීණ ගීත රචකයෙක්, සංගීත අධ්‍යක්ෂවරයෙක්, ගායන ශිල්පියෙක් සහ රංගන ශිල්පියෙක් වශයෙන් රෝහණ බැද්දගේ යනු අපේ අනන්‍යතාවක් වුණු ජන සංගීතය හා ජන ගීය වත්මන් පරපුරට රැගෙන යාම සඳහා පුරෝගාමි මෙහෙවරක් සිදු කළ කෙනෙකි. ගීත රචනය, සංගීත අධ්‍යක්ෂණය හා ගායනය යන සංගීතයේ තෙවැදෑරුම් අංගයන්ට ප්‍රවීණයෙක් වුණු රෝහණ බැද්දගේ ශූරීන් අතින් ජන ගීය ආශ්‍රය කොටගෙන බිහි වුණු නිර්මාණ රැසකි. එහෙත් අද වනවිට මෙවැනි ප්‍රවීණ නිර්මාණ ශිල්පීන් නිහඬය. මේ ඔහුත් සමඟ කළ පුවත්පත් සාකච්ඡාවකි.

කොහොමද ඔබතුමාට?

වරදක් නැහැ. හොඳින් ඉන්නවා.

මේ දිනවල ඔබ අනුගමනය කරන්නේ නිහඬ පිළිවෙතක් ?

මාව මාධ්‍යවලින් පෙනෙන්නේ නැති නිසයි එහෙම කියන්නේ. මම කොහොමත් මාධ්‍යවලට පැනගෙන යන්නේ නැහැ. මාධ්‍යවලට ඕනෑවට වඩා යන සිරිතක් මගේ නැහැ. ඒ නිසා ඉතින් හැමෝම කියනවා මම නිහඬයි කියලා. ඒත් නිහඬකමත් හඬක්නේ ළමයෝ. මේ දවස්වල මම සංගීතය සම්බන්ධයෙන් පොතක් ලියනවා. ඒ නිසා ටිකක් නිහඬව ඒ වැඩකටයුතු ටික කරනවා.

වත්මන් සංගීත ක්ෂේත්‍රය ගැන ඔබේ අදහසින්ම මේ කතාව පටන් ගමු?

වර්තමානය කියන වචනයත් එක්ක එකට සම්බන්ධ වෙලා තමයි සංගීතයත් හැදිලා තියෙන්නේ. අපි වරද්දා ගන්න එක තැනක් තියෙනවා. අපි අහනවා “මොකද්ද දැන් මේ තියෙන සංගීතය?“, “මොකද්ද සංගීතයට වෙලා තියෙන්නේ?“ වගේ ප්‍රශ්න. මෙතන ප්‍රශ්නේ තියෙන්නේ සංගීතය ගැන විතරක් කතා කිරීම. සමාජ රටාව කියන එක වෙනස් වෙන්නේ සියලුම දෙවල් එක්ක. ගඟක් ගලනකොට ගලන්නේ කුණුරොඩු, පෙණකැටි ඔක්කොම එක්ක. ඒ වගේ තමයි සංස්කෘතියත් පරිවර්තනය වෙනකොට අනිත් සේරමත් ඒ හැඩහුරුකම් ගන්නවා. ඒක ගුණාත්මක බවින් අඩු පරිවර්තනයක්. අපේ ඇඳුම් පැළඳුම්, ආහාර රටා, සංගීතය, කලාව මේ හැමදේම වෙනස් වෙලා. සංගීතය තුළත් ඒ විශම බව තියෙනවා. සමාජ රටාවට අනුරූපව සහ ගැළපෙන විදිහට තමයි අද කලාව නිර්මාණය වෙලා තියෙන්නේ.

දැන් සංගීත ක්ෂේත්‍රයේ විවිධාකාර රැලි නිර්මාණය වෙලා තියෙනවා. ඒ රැලි ගැන මොකද හිතෙන්නේ?

සංගීතයේ රැලි බිහි වෙනවා වගේ තමයි සමාජ රටාවෙත් විවිධ රැලි එනවා. ඒ වගේම ඒවා කාලයත් එක්ක යටපත් වෙලා යනවා. රැලි කියන ඒවා ස්වාභාවිකයි. පහුගිය කාලේ ආවා රැප් කියලා රැල්ලක්. ඒක එක්තරා අමුතු විලාසිතාවක්. ඒක අපේ සංගීතය එක්ක මුහු කළා. දැන් ඔක්කොම හයිබ්‍රිඩ් වෙලා තියෙනවා. ඒවායේ නොගැළපීම් ගොඩකුත් පේනවා. අපේ ගැමියන් අතරත් කවුරුත් නොදන්නවා වුණාට රැප් තිබුණා. තොවිල්කවි, සවුදම් කවිවලත් ඒ වගේ වේගයෙන් කියන කවි තිබුණා. පැරැණි ඒවා දැන් අලුත් මුහුණුවරකින් ප්‍රකාශ වෙනවා දකින්න පුළුවන්.

ඒ රැලි අතරින් ජන ගී රැල්ලක් හැදිලා තියෙනවා ඒ ගැන ඔබේ අදහස?

එදා අපි කළේ ජන ගීය සමාජ ගත කරන්න, සමාජයට හඳුන්වලා දෙන්න , අධ්‍යාපනිකව ඒක හදාරන්න උපකාර කරපු එක. ඒකටයි අපි ජන ගී ආශ්‍රයෙන් සහ ජන සංගීතයෙන් විවිධ නිර්මාණ කළේ. සමහර ඒවා අධ්‍යාපන පද්ධතියටත් එකතු වුණා. දැන් කමතේ වැඩ කරන්නේ නෑ ඒ නිසා කමත් කවි ඇහෙන්නේ නැහැ. දැන් සීසාන්නේ නෑ ඒ නිසා සීසානකොට කියන අඬහැර ඇහෙන්නේ නැහැ. ඒකයි මකුලොළුව මහත්තයා මේ කවි අධ්‍යපනයට එකතු කළේ. ඒ අධ්‍යාපනය තුළින් තමයි ජන ගී රැල්ල දැන් ඇවිල්ලා තියෙන්නේ. දැන් මිනිස්සු අලුතින් ඕනෙම දෙයක් කරලා බලාපොරොත්තු වෙන්නේ මාර්කට් කරන්නනේ. කොහොම වුණත් වෙ‍ෙළඳාම තමයි අන්තිමටම ඒ අයගේ බලාපොරොත්තුව. ඉතින් ජන ගී රැල්ලත් ඒ වගෙයි. කොහොම වුණත් අලුතෙන් ක්ෂේත්‍රයට එකතු වෙන පිරිස් නොයෙකුත් අත්හදා බැලීම් කරනවා. ජන සංගීතයත් ඒකේ එක කොටසක්. ඒක තමයි ඉතින් දැන් විදිහ.

රැල්ලකින් හරි ජන ගීය මිනිස්සුන්ට නැවත සමීප වෙනවා නම් හොඳ නැද්ද?

ඒක හොඳයි. හැබැයි ඒක සදාචාරාත්මක ලෙසයි මිනිස්සු අතරට ගෙනියන්න ඕනේ. ඒවා නිසා සමාජයට හානියක් වෙන්න බැහැ. ඒ වගේම මිනිස්සුන්ට වැරැදි අදහසක් සම්ප්‍රේෂණය වෙන්න බැහැ. රැල්ලට ජන ගී නිර්මාණ කළා කියලා නියම ජන ගීයේ අර්ථයට හානියක් වෙන්නත් බැහැ. වත්මන් සංගීත ක්ෂේත්‍රයේ විවිධ කණ්ඩායම් ඉන්නවා ජනගීය පරම පිවිතුරු ලෙස ඉදිරියට අරගෙන යන්න වෑයම් කරන. එ් කොහොම කළත් ජනගීය ආවේණික පාරම්පරික ලක්ෂණ නැති කරගෙන නිර්මාණ කරලා ජනගීය ඉදිරියට ගෙන යන්න බැහැ.

ඇයි වර්තමානයේ ජන ගීය මේ තරම් අපිට නුහුරු?

සමාජ රටාවත් එක්ක තමයි හැමදේම ගමන් කරන්නේ. ජනගීය නුහුරු වෙන්න හුරු දේවල් ගොඩක් ඇවිත් තියනවා. හැමදේම වෙනස් වෙද්දි සංගීතය විතරක් වෙනස් නොවෙන්නේ නැහැ. ඒක ස්වාභාවික දෙයක්.

මේ තරම් ජන ගී ආශ්‍රයෙන් නිර්මාණ කරපු ඔබත් මේ වගේ මොහොතක නිහඬයි?

නිහඬ කමත් හඬක් කියනවානේ. මගේ පරමාර්ථයක් නැහැ මේවා බදාගෙන නිර්මාණ කරලා ඉස්සරහට ගිහින් මාර්කට් කරලා විකුණන්න. දැන් සමාජ රටාව යන දිහා බලාගෙන මමත් උපේක්ෂාවෙන් බලාගෙන ඉන්නවා. ඉස්සර මාධ්‍යවලින් මට නිර්මාණවලට ආරාධනා ආවා. දැන් එහෙම නැහැ. මම නිහඬ වෙන්නේ කවුරුත් මගේ හඬ අවදි නොකරන නිසා.

ඔබ දක්ෂ නර්ථන ආචාර්යවරයෙක්. තාමත් අපේ දරුවෝ පාරම්පරික නර්ථනයට, ජන සංගීතයට කැමැති ද?

ළමයි කැමැතියි මේවා ඉගෙන ගන්න. ඒත් පොඩි දරුවන්ට ගොඩක් ගැටලු තියෙනවා. මටත් කලායතනයක් තියෙනවා. අම්මලා තමන්ට ඕනේ දේ තමයි ළමයින්ට උගන්නන්නේ. අම්මලාට ඕනේ දරුවන් රූපවාහිනී නාළිකාවල රියැලිටි තරගවල නටවන්න. ඉතින් මේවා එහෙම ඉක්මණින් උගන්නන්න පුළුවන් සාස්තර නෙමෙයිනේ.

විශ්වවිද්‍යාල ශිෂ්‍යයන්ගේ මේ සඳහා ඇති රුචිය මොන වගේ ද?

විශ්වවිද්‍යාලවල දරුවෝ හොඳයි. නිර්මාණාත්මක සංගීතය ගැන, ජන සංගීතය ගැන, ජන ගීය ගැන ඔවුන් විවිධ පර්යේෂණ කරනවා. විශ්වවිද්‍යාලය කියන්නේ පර්යේෂණ කරන, දැනුම සම්පාදනය කරන තැනක්. මටත් ඒ දේශනවලට ආරාධනා ලැබෙනවා. ඒ දරුවන්ට මේවා ඉගෙන ගන්න තියෙන ඇල්ම ගැන මට සතුටුයි.

ඔබතුමාගේ ඉදිරි වැඩ කටයුතු ගැනත් කියමු?

මම කලින් කිව්වා වගේ සංගීතය ගැන ඉදිරියේදී පොතක් පළ කරන්න බලාපොරොත්තු වෙනවා. ඒ වගේම පැරැණි සංස්කෘතිය වස්තුවිෂය කරගෙන අලුතින් ටෙලිනාට්‍යක් ලියමින් පවතිනවා. මේ අතර පාසල්වල, විශ්වවිද්‍යාලවල සහ අනෙකුත් ආයතනවල දේශනවලට ආරාධනා කළොත් ඒවාටත් සහභාගී වෙනවා.
Share This Article
Hiru Tv Blog
ලෝකයේ විවිධ රටවල මගීන් රැගත් සුඛෝපභෝගී...
Hiru Tv Blog
මෙරට ජීවත් වන ජනතාවගෙන් 84%ක්ම මියගිය පසු...
Hiru Tv Blog
ශ්‍රී ලංකාව තුළ සෑම වසරකම අලුතින් තැලසීමියා...
Hiru Tv Blog
ශ්‍රී ලංකාවේ මුළු ජනගහනයෙන් සියයට අසූහතරක්...
Hiru Tv Blog
ලංකාවේ ජනප්‍රියම තරු පවුලක බාලම සුරංගනාවිය, හැමෝම ආදරය කරන ශනුද්‍රි ප්‍රියසාද්...
Hiru Tv Blog
තමිල්නාඩු දේශපාලනය උඩුයටිකුරු කරමින් තලපති විජේ ලබාගත් දැවැන්ත ජයග්‍රහණයත්...
Hiru Tv Blog
කොලොම්බියානු ගායිකා ශකීරා නොමිලේ පැවැත්වූ ප්‍රසංගය නැරඹීම සඳහා පසුගිය සෙනසුරාදා...
Hiru Tv Blog
නව කෘත්‍රිම බුද්ධි (AI) විශේෂාංග පිළිබඳව ජනතාව නොමඟයැවූ බවට එල්ලවූ චෝදනා සහිත...
Hiru Tv Blog
මේ ඇසෙන්නේ WhatsApp භාවිත කරන තවත් පිරිසක් වෙත වැදගත් වෙන කාරණයක්.ඉතින් ඔබත් කලින්ම...
Hiru Tv Blog
ලොව පුරා අන්ධභාවයෙන් පීඩාවිඳින මිලියන සංඛ්‍යාත ජනතාවට නව බලාපොරොත්තුවක් එක්...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top