"දැන් මං ආදරවන්තියක් නෙමෙයි, මං ආදරේ කරන්නේ මට" අභිෂේකා විමලවීරගේ මුහුණුපොත කැළඹූ සටහන..
'මතක', 'නිස්සාර' සහ 'දන්නවද ආදරේ නීතිය' වැනි හදවතේ පතුලටම දැනෙන ගීත රැසක් හරහා ලාංකීය සංගීත ක්ෂේත්‍රය තුළ තමන්ගේම සලකුණක් තැබූ දක්ෂ ගායන ශිල්පිනියක වන අභිෂේකා විමලවීර ගැන අප කවුරුත් දන්නවා.
ඇයගේ අපූර්ව නිර්මාණවලට සහ ගැඹුරු හඬට ආදරය කරන රසිකයන් වෙනුවෙන් ඇය මෑතකදී සිය නිල මුහුණුපොතට අතිශය හැඟීම්බර සහ ආකර්ෂණීය සටහනක් එක් කර තිබෙනවා.
ඉතිං ඒ සටහනේ මෙන්න මෙහෙම සටහන් වෙලා තිබුණා..
දන්නවද මේඝ?
දවසින් දවස ඔබ ගැන මගෙ හිතේ තියෙන මතකය වියපත් වෙනවා.
ඔබ ගැන එක එක විදියට හිතල හිතලම දැන් මට අලුතෙන් හිතන්න මාතෘකා නැති වෙලා.
අතින් අල්ලගෙන ගියපු ගමනක් නැති වුණත් හිතින් අල්ලගෙන මං ඔබත් එක්ක නොගියපු පාරක් නැතුව ඇති.
දැන් පාරවල් ඉවර වෙලා.
හැම රෑම එක එක පාට හීනවල ඔබව දැකලා දැකලා මගේ හීන ඉවර වෙලා.
ඔබ ගැන පොත් පිරෙන්න ලියලා ලියලා මගේ අකුරු ඉවර වෙලා.
හාදු තියපු තැන් වල සුවද කොයි තරම් වුණත් අනුරාගී සිතුවිල්ලක් ආයෙමත් පහළ නොවන තරමට හැගීම් මැකිලා ගිහිල්ලා.
කොයි තරම් දුක හිතෙන සින්දුවක් ඇහුවත් ඇස් නොතෙමන ගාණට හිත හිරිවැටිලා.
ඔව්..ඔබ කිව්ව විදියටම කාලෙත් එක්ක මට ඔබව අමතක වෙලා... ඉස්සර ඇස් වහ ගත්ත ගමන් බොද වෙවී මැවුණු ඔබේ මුහුණ දැන් මට ඉක්මණින් මතක් කර ගන්න පුළුවන්.
ආදරේ කරන මිනිස්සුන්ගෙ මූණු කොයි තරම් මතක් කරත් පේන්නෙ බොද වෙලා කියල මමම ලිවුවා ,
මීට අවුරුදු පහකට විතර කලින්. ඉතින් දැන් මං ආදරවන්තියක් නෙමෙයි.
ඔබේ මූණ මට හරි පැහැදිලියි. හරියට සමුගැනීමක්වත් තිබුණෙ නැති අපේ ආදර කතාවට ඔබේ ඇස් දිහා බලාගෙන සමාප්තියක් දෙන්න මට ලොකූ ආසාවක් තිබුණා. ඒක හරියට මරණාසන්න මනුස්සයෙක් ගෙ අන්තිම කැමැත්ත ඉෂ්ඨ වෙනකල් ආත්මයට සැනසීමක් ලැබෙන්නෙ නෑ වගේ කලබලකාරී හැගීමක්.
ඒත් අවුරුදු ගාණක් තනියෙන් මම,
මටම කතා කරලා අපේ ආදරේ පස් වලින් වහල දැම්මා. රහස් කන්දක් ඒ පස් වලින් වැහුණා.
දැන් ඒ වළලාපු තැන් වල සේපාලිකා ගස් වැවිලා. එදායින් පස්සෙ කාටවත් ආදරේ කරේ නැද්ද ? මගේ යාළුවෙක් ඊයෙ හවසත් ඇහුවා.
හීතල බීර උගුරක් බොන ගමන් මන් ඔහුට ඇත්තම කිව්වා... මම ආදරේ කළා..ආයෙ මට ආදරේ හිතුණා..
මම ආදරේ කරනවා...
කාටද?????
ඇස් පුළුවන් තරම් ලොකු කරගෙන ඔහු මගෙන් ඇහුවා.
මට! හරි ආඩම්බරෙන් ,
මං එහෙම කිව්වා
...... අභී!