ඊශ්‍රායලය වයස 12 ඉක්මවූවන්ට තුන්වන මාත්‍රාවක් ලබාදීමේ කටයුතු ආරම්භ කරයි
Monday, 30 August 2021 - 14:02 | Views - 684

අවුරුදු 12න් ඉහළ වයස් කාණ්ඩවල දරුවන් වෙත කොරෝනා මර්දන එන්නතේ තුන්වන මාත්‍රාව ලබාදීම ඊශ්‍රායලය අද ආරම්භ කරනු ලැබුවා.
ඒ, තුන්වන මාත්‍රාවක් ලබාදීම තාවකාලික ව අත්හිටුවන ලෙසට ලෝක සෞඛ්‍ය සංවිධානය ඉල්ලීමක් කර ඇති පසුබිමක යි.
ඊශ්‍රායලය, ජර්මනිය, බ්‍රිතාන්‍යය, ප්‍රංශය, රුසියාව සහ සිංගප්පූරුව මේ වනවිටත් තුන්වන මාත්‍රාවක් ලබාදීම ආරම්භ කර තිබෙනවා.
ලෝක සෞඛ්‍ය සංවිධානය පවසන්නේ, ධනවත් රටවල් විසින් මෙලෙස තුන්වන මාත්‍රාවක් ලබාදීම තුළින් අඩු ආදායම්ලාභී රටවලට ලබාදීමට ප්‍රමාණවත් එන්නත් අහිමිවන බවයි.
එසේම, ජපානයේ ඔකිනාවා ප්‍රදේශයේ මොඩර්නා එන්නත භාවිතය තාවකාලිකව අත්හිටුවා තිබෙනවා.
ඒ, එන්නත භාවිත කළ පුද්ගලයින් දෙදෙනෙකු මියයාමේ සිදුවීමක් වාර්තාවීමත් සමඟ යි.
කෙසේ වෙතත් ඒ සම්බන්ධයෙන් වැඩිදුරටත් පරීක්ෂණ සිදුකරන බවයි ජපානයේ සෞඛ්‍ය අංශ ප්‍රකාශ කළේ.
මේ අතර ඉන්දීය ඩෙල්ටා විකෘති ප්‍රභේදය ශීඝ්‍ර ලෙස ව්‍යාප්ත වීම හේතුවෙන්, ඔස්ට්‍රේලියාව මේ වනවිට දැඩි අර්බුදයකට මුහුණ දී සිටිනවා.
ඒ අනුව මෙල්බර්න් නගරයට පනවා ඇති වසා දැමීමේ සීමාවන් තවත් සති දෙකකට දීර්ඝ කිරීමට යි එරට රජය පියවර ගනු ලැබුවේ.
එසේම සිඩ්නි සහ නිව්සවුත්වේල්ස් ප්‍රාන්ත තුළ ද වාර්තාවන ඩෙල්ටා ආසාදිතයින් සංඛ්‍යාව දහස ඉක්මවා ගොස් තිබෙනවා.
Share This Article