අනතුරට හේතුවුයේ දුරකථන ඇමතුමක්ද ? දත්ත ලබා ගැනීමේ සූදානමක්
Wednesday, 24 March 2021 - 10:30 | Views - 502

පුද්ගලයින් 14 දෙනෙකුට මරු කැඳවමින් ලුනුගල - බදුල්ල මාර්ගයේ පස්සර 13 කණුව ප්‍රදේශයේ සිදුවූ අනතුරේ බසය පැදවූ රියදුරාගේ දුරකථනයේ දත්ත වාර්තා අදාළ සමාගම් වෙතින් ලබාගැනීමට සූදානම් වනවා.
අනතුර සම්බන්ධයෙන් විමර්ශනය මෙහෙය වන උසස් නිලධාරියෙකු සඳහන් කළේ අදාළ රියදුරා විසින් බස් රථය ධාවනය කරන අවස්ථාවේ දුරකථනය භාවිත කළ බවට බස් රථයේ සිටි කිහිපදෙනෙකු සඳහන් කර ඇති බවයි.
කෙසේ වෙතත් බදුල්ල රෝහලේ ප්‍රතිකාර ලබන රියදුරුගෙන් පොලීසිය ප්‍රකාශයක් ලබාගෙන ඇති අතර, ඔහු සඳහන් කර ඇත්තේ තමන් එම අවස්ථාවේ දුරකථනය භාවිත නොකළ බවයි.
තමන් තිරිංග ක්‍රියාත්මක කළ බවත්, බස් රථයේ තිරිංග ඒ මොහොතේ ක්‍රියාත්මක නොවූ බවත් ඔහු පවසා තිබෙනවා.
මෙම අනතුරින් තුවාල ලැබූවන් 28 දෙනෙකු තවදුරටත් රෝහල්ගතව ප්‍රතිකාර ලබන අතර, මියගිය 14 දෙනාගේ අවසන් කටයුතු පෙරේදා වනවිට අවසන් කෙරුණා.
මේ අතර, රාජගිරිය පාර්ලිමේන්තු පාරේදී මාරක රිය අනතුරක් සිදුකර රථවාහන රාජකාරියේ යෙදී සිටි කොළඹ හදිසි ඇමතුම් අංශයේ උප පොලිස් පරීක්ෂකවරයෙකු සහ තවත් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත් කළැයි වැලිකඩ පොලීසිය අත්අඩංගුවට ගත් වෑන් රථ රියදුරු මේ මස 31 වන දා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා.
ඒ, කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ටී. ප්‍රභාකරන් හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි.
මෙලෙස රිමාන්ඩ් කරනු ලැබුවේ මාදිවෙල - තලවතුගොඩ ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙක්.
Share This Article