යාචකයෙකු ලෙස ගම්පොළ බස්පොළේ සිටි කාන්තාව, වලව්වක කුමාරිහාමි කෙනෙකු බව හෙළි වූ හැටි
Wednesday, 02 September 2020 - 16:04 | Views - 1,255

ගම්පොළ ශ්රී ලංගම බස් පොළ තාවකාලික නවාතැනක් කරගනිමින් සිටි කාන්තාවක කෝටිපති වලව්වක ජීවිතය ගත කළ කාන්තාවක බවට හඳුනා ගැනීමට හැකි වූ බව ගම්පොළ පොලිසිය සඳහන් කළා.
එම කාන්තාව සතුව තිබූ අත් බෑගය සොරකම් කර ඇති බවට පොලිසියට ලැබුණු තොරතුරු මත කළ සොයා බැලීමේදී එම බෑගය සොයා ගැනීමත් සමඟ මෙම තොරතුරු හෙළි වූ බවයි පොලිසිය සඳහන් කළේ.
දින ගණනාවකට පෙර මෙම කාන්තාව බස් නැවතුමේ තනිව සිටිනවා දුටු ගම්පොළ ඩිපෝවේ කළමණාකාර නවරත්න බණ්ඩාර මහතා ඇයට රාත්රී කාලය ගත කිරීමට වේලා සටහන් කාමරය ලබා දී තිබුණා.
ඇය බස් නැවතුමේ සිටියදී 29 රාත්රීයේදී ඇය සතු බෑගය රැගෙය යම් අයෙකු පලා ගොස් ඇති බවට ගම්පොළ පොලිසියට තොරතුරු ලැබී තිබෙනවා.
එහිදී ඇය පොලිසියට පවසා ඇත්තේ, බෑගයේ රුපියල් ලක්ෂ අටක්, රන් මාලයක්, වළළු අටක්, බැංකු පොත් ඇතුළු වටිනා දේ රාශියක් තිබූ බවයි.
යාචක කාන්තාවක ලෙස බස් නැවතුවේ දිවි ගෙවන ඇයගේ කතා කිසිවකු විශ්වාස නොකළද ගම්පොළ මූලස්ථාන පොලිස් ස්ථානාධිපති ප්රධාන පොලිස් පරීක්ෂකවරයා මේ පිළිබඳ විධිමත් පරීක්ෂණයක් ඇරඹීමට උපදෙස් ලබා දී තිබෙනවා.
එම සැකකරු එහි තිබූ මුදල් හා රන් භාණ්ඩ ගෙන බෑගය කසළ ගොඩක සඟවා තබා ඇති අතර පසුව බෑගය සොයා ගෙන ඇති බව සඳහන්.
එම බෑගය පරීක්ෂා කිරීමේදී මෙම කාන්තාව බැංකුවේ ස්ථිරි තැන්පත් කර ඇති ලක්ෂ 65ක් ඇති බව තහවුරු වී ඇති අතර සැකකරු ළඟ තිබී රුපියල් හැත්තෑ පන්දහසක් සොයා ගෙන තිබෙනවා.
ඇය සතු තවත් දේපළ රාශියක් ඇති බවද තහවුරු කරගත් පොලිසිය වහාම ඇය පිළිබඳ ක්රියාමාර්ග ගැනීමට කටයුතු කර ඇති බව සඳහන්.
සුරංග රාජනායක විසින් ලංකාදීප පුවත්පතට ලියූ ලිපියකි.
Share This Article