වාරිජලය අත්‍යවශ්‍ය කටයුතුවලට පමණයි - රාත්‍රියේ ජලය රැස් කරගන්නැයි ඉල්ලීමක්
Tuesday, 01 September 2020 - 20:20 | Views - 1,779

දිවයිනේ ප්‍රදේශ රැසකට බලපා ඇති වියළි කාලගුණ තත්ත්වය හේතුවෙන් ගංගා සහ වාරි ජලාශ වල ජල මට්ටම් පහළ ගොස් තිබෙනවා.
වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ ජල විද්‍යා අංශයේ අධ්යක්ෂ එස්. පී. සී. සුගීෂ්වර කියා සිටියේ ගංගාවල ජල මට්ටම් සැලකිය යුතු ලෙස පහළ බැසිම නිසා පානීය ජල සැපයුමට බාධා එල්ල වී ඇති බවයි.
අත්‍යවශ්‍ය වගා කටයුතු සහ පානිය ජලය සඳහා පමණක් වාරිජලය ලබාදීම සිදු කරන බවයි වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ ජල කළමණාකරණ අංශයේ අධ්යක්ෂ ඞී. අබේසිරිවර්ධන කියා සිටියේ.
ජලවිදුලිය නිෂ්පාදනය කරන ජලාශ වල ද ජල මට්ට්ම සියයට 68 දක්වා පහළ ගොස් ඇති බවයි විදුලි බල මණ්ඩලය සඳහන් කළේ.
මේ අතර, වියළි කාලගුණය ලබන නොවැම්බර් මාසය දක්වා පැවතිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළා.
කෙසේ වෙතත්, අද, හෙට සහ අනිද්දා යන දිනයන්වලදී බොහෝ ප්‍රදේශවලට තාවකාලික වැසි ඇති විය හැකි බවයි එම දෙපාර්තමේන්තුවේ අධ්යක්ෂ ජනරාල් අතුල කරුණානායක ප්‍රකාශ කළේ.
මේ වන විට දිවයිනේ ප්‍රදේශ රැසකට බලපා ඇති වියළි කාලගුණ තත්ත්වය හේතුවෙන් පානීය ජලය ලබාදීම සීමා කිරීමට සිදුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලයද ප්‍රකාශ කළා.
ඒ අනුව කැළණිය, වත්තල, බියගම, දොම්පේ, පමුණුවිල, උඩුපිල, රතුපස්වල සහ යක්කල ,කොස්ගම, අවිස්සාවේල්ල, පිළියන්දල, මහරගම, කඩුවෙල, හෝකන්දර, නාවල සහ කෝට්ටේ ප්‍රදේශවල ජල සැපයුමට බාධා එල්ල විය හැකියි.
එමෙන්ම, කොළඹ දිස්ත්‍රික්කයේ උස් බිම් ප්‍රදේශවලට සහ පානදුර, වාද්දුව, බණ්ඩාරගම, හොරණ සහ ඉංගිරිය යන ප්‍රදේශවල ද යම්තාක් දුරකට ජල සැපයුමට බාධා සිදුවිය හැකි වනවා.
වියළි කාලගුණය පවතින බදුල්ල සහ මොණරාගල දිස්ත්‍රික්ක වලටද නළ ජල සැපයුමට බාධා එල්ල විය හැකි බවයි.
ඒ අනුව, මෙම තත්ත්වයත් සමඟ පානීය ජලය හැකිතාත් දුරට අරපිරිමැස්සෙන් භාවිතා කරන ලෙස සහ රාත්‍රී කාලයේදී ජලය රැස් කර තබාගන්නා ලෙස ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය පාරිභෝගිකයින්ගෙන් ඉල්ලීමක් කරනවා.
Share This Article