ස්කෑන් කරපු වෙලාවේ කිව්වා දරුවන් හතර දෙනෙක් කියලා, පස්සේ තමා දැනගත්තේ පස් දෙනෙක් ඉන්නවා කියලා - පස් නිවුන් දැරියන්ගේ වාසනාවන්ත තාත්තා කියු සංවේදී කතාව
Monday, 31 August 2020 - 12:14 | Views - 1,438
පස් නිවුන් දැරියන්ගේ වාසනාවන්ත තාත්තා, ප්‍රියදර්ශන ලියනආරච්චිගේ මුහුණ දැන් සතුටින් පිරී  ගොසිනි. ඒත් මීට මොහොතකට පෙර ඔහු සිටියේ තැති ගැන්මෙනි.
 
තම ආදරණීය බිරිය රසාංජලී ජයවර්ධන රඳවනු ලැබ සිටි දැඩි සත්කාර ඒකකය ඉදිරියේ වාඩි වී සිටි ඔහුගේ දෑස නිරතුරුව යොමු වී තිබුණේ ශල්‍යාගාරයේ ‍දොරටුව වෙතය.

“‍දොස්තර මහත්තයා ඇවිත් මගේ නෝනා දැන් සනීපෙන් ඉන්නවා කියලා කිව්වා. ඒ හින්දා මට එයාව ටිකක් බලලා එන්න පුළුවන්. ඒ ආවට පස්සේ මම ඔයාලා එක්ක කතා කරන්නම්” ඔහු හෙමීට කීවේය.
 
ඒ ටිකකින් හෙදි සොහොයුරියක් පැමිණ ප්‍රියදර්ශනට කතා කළාය. ඔහු වහා නැඟිට ඇය පසුපස ගියේය. තවත් මොහොතකින් අප සමීපයට පැමිණි ප්‍රියදර්ශන සිනාමුසු මුහුණින් යුතුව මෙසේ කීවේය.
 
“එයා ඇහුවා ඔයාට ගොඩාක් සතුටුයි නේද කියලා.”
 
ප්‍රියදර්ශන අප සමඟ කතා කරන්නට මුල පිරුවේ එසේය.
 
ප්‍රියදර්ශන හා රසාංජලී ජීවත්වන්නේ පූගොඩ, පැපිලියවලය. කුඩා කාලයේ සිට යාළු මිතුරුකම් පැවැත්වූ මේ දෙදෙනා ලොකු මහත් වනවිට ආදරවන්තයන් බවට පත්වී මීට අවුරුදු තුනකට පමණ පෙර විවාහ වූහ. රසාංජලී ගුරු පත්වීම ලැබුවේද ඒ කාලයේය.
 
“මගේ නෝනට මුල්ම පත්වීම ලැබුණේ වන්නියාව ගාමිණි මහා විද්‍යාලයට. ඒ දුෂ්කර රාජකාරි.
 
ඉතින් ඔය කාලෙ අපි දරුවෙක් ගැන හිතුවම හරි ගියේ නැහැ. මොකද මුල්ම දරුවා කුසට ඇවිත් මාස තුනකින් නැතිවෙලා ගියා.” මේ අභාග්‍යසම්පන්න සිදුවීමෙන් පසු ඔවුන් පූගොඩට කිට්ටු පාසලකට මාරුවක් හදා ගන්නට උත්සාහ ගත්තත් එය සාර්ථක නොවුණි.
 
“ඊට පස්සේ මේ දරුවෝ කුසට ආපු ගමන් එයාට මීගමුවේ පාසලකට තාවකාලික මාරුවීමක් ලැබුණා. නමුත් වැඩි කාලයක් ඉස්කෝලේ යන්න ලැබුණේ නැහැ. අමාරු නිසා නිවාඩු ගත්තා.”
 
මෙසේ නිවාඩු ලබාගත් රසාංජලී වෛද්‍ය පරීක්ෂණවලට ලක්වී සිය කුස තුළ වැඩෙන දරුවා ගැන වඩාත් විමසිලිමත් වූයේ පෙර අත්විඳි අභාග්‍යසම්පන්න අත්දැකීම නිසාමය.
 
“ඔය කාලේදී තමයි අපි දැනගත්තේ දරුවෝ හතර දෙනෙක් කුසේ ඉන්නවා කියලා. ඒ ස්කෑන්  එකක් කරපු වෙලාවෙයි. හැබැයි පහු වෙද්දී හතර දෙනෙක් නෙමෙයි පස්දෙනෙක් කියලා දැනගත්තා.”
 
මේ ආරංචියෙන් ප්‍රියදර්ශන වගේම රසාංජලීද මඳක් තැති ගත්හ. ඒත් අවසානයේදී ඒ ලැබෙන දරුවන් නිරෝගිව මෙලොවට බිහිකිරීමේ වගකීම හා කැපවීම රසාංජලී ඉත සිතින් භාරගත්තාය.
 
“එදා ඉඳලාම රසාංජලී වැඩි කාලයක් හිටියේ ඉස්පිරිතාලේ. මොකද සමහර දවස්වලට එයා දවසට 10 පාරක් විතර වමනේ කළා.”
 
කෙසේ හෝ මේ සියලු අභියෝග ජය ගනිමින් රසාංජලී පස් නිවුන් දරු මවක් ලෙස වාර්තා පොතට එකතු වූයේ පසුගිය සිකුරාදා උදයවරුවේය.
 
“මම පොඩියට සපත්තු සාප්පුවක් කරන කෙනෙක්. ඉතින් දරුවෝ පස්දෙනෙක් හදන එක අපට ලොකු අභියෝගයක් තමයි. ඒක මම හොඳින් තේරුම් අරගෙන තමයි ඉන්නේ. ඒත් මට හරිම සතුටුයි.”
 
තාත්තලා සාමාන්‍යයෙන් එහෙමය. දරුවන් ඉදිරියේ ඔවුන්ට ඇති අභියෝග කොතෙක් වුවත් ඒ අභියෝග ජය ගන්නට ඔවුහු අප්‍රමාණව වෙහෙසෙති. එහෙත් ඒ දුක වේදනාව ඔවුන් සමාජගත කරන්නේ නැත. ප්‍රියදර්ශන සමඟ කළ කතා බහ අවසන් කළ අප ඊළඟට ගියේ රසාංජලීට පස් නිවුන් දැරියන් බිහිකිරීමට වෛද්‍ය අත්වැල සැපයූ වෛද්‍යවරයා වෙතය. ඒ ප්‍රසව හා නාරි විශේෂඥ වෛද්‍ය ප්‍රබෝධ රණවීර මහතාය.
 
“අද ශල්‍යගාරයේදී මේ සැත්කමට මමත්, වෛද්‍ය මොහොමඩ් රිෂාඩ් මහතාත් සම්බන්ධ වුණා. ඒ මේ අම්මා ප්‍රතිකාර ලැබූ ද සොයිසා රෝහලේ, 3 වාට්ටුව වෙනුවෙන්. නමුත් මේ අම්මා බිහිකළ මේ දැරියන් පස්දෙනාගේ උපත සාර්ථකව සිදුකරන්නට අපේ ඒකකයේ ප්‍රධානි මහාචාර්ය අතුල කළුආරච්චි, අසංක ජයවර්ධන, චන්දන ජයසූරිය සහ  මහාචාර්ය ඒකකයේ වෛද්‍යවරු හැමෝම දායක වුණා. ඒ වගේම නිර්වින්දන වෛද්‍යවරිය ලෙස කටයුතු කළ සරෝජා ජයසිංහ, නොමේරූ ළදරු ඒකකයේ නිශානි ලූකස් සහ නලින් ගම්මතිගේ යන සියලු වෛද්‍යවරුන් මීට දායක වුණා.
 
මේ අම්මට නිවුන් දරුවෝ 5 දෙනෙක් ලැබෙන්න ඉන්නවා කියල දැනගත්ත වෙලාවේ ඉඳන් අපි හැමෝම ඇය වෙනුවෙන් විශේෂ අවධානයක් දැක්වූවා. හැබැයි ඇය පුදුම අම්මා කෙනෙක්. කිසිම වෙලාවක කුස තුළ දරුවෝ 5 දෙනෙක් ඉන්නවා කියලා අමාරුවක්නේ, වේදනාවක් බියක් අපට පෙන්නුවේ නැහැ. ඇය ධෛර්යවන්ත මවක්.
 
දැරියන් 5 දෙනකු ලැබෙන්නට සිටින මවක් නිසාම බොහෝ විට සිටියේ රෝහලේමයි. ඒ වගේම දරුවන් ලැබෙන කාලය හා ඊට පසුව ඇයට අවශ්‍ය සියලුදේ ද සොයිසා මාතෘ නිවාසයේ රෝහලේ අධ්‍යක්ෂිකා වෛද්‍ය සාගරී මහත්මිය අපට සැපයුවා.”
 
රසාංජලී පස් නිවුන් දැරියන්ගේ මවක් වූ පසුගිය සිකුරාදා මේ සියලු වෛද්‍ය කාර්ය මණ්ඩලය ඇතුළු සියලු හෙදි සොයුරියන් මේ සැත්කමට දායකත්වය ලබාදුන්නේ එහි තිබූ  සුවිශේෂීභාවය මෙන්ම අවදානමද හොඳින් තේරුම් ගෙනය.
 
“එකවර උපදින දරුවන් පස්දෙනකුට ඇඳවල් වගේම අවශ්‍ය සියලු උපකරණ ලෑස්ති කිරීමත් පහසු නැහැ. ඒ හැම දෙයක් ගැනම අපි වගබලාගත යුතුයි. නමුත් වාසනාවට වගේ විනාඩි 12ක් වගේ කාලයකදී මේ දරුවෝ නිරෝගිව බිහිවුණා. දරුවන්ගේ උපත් බර කිලෝ එකකට ඩිංගක් වැඩියි. ඒ නිසා දැන් ඔවුන් නොමේරූ ළදරු ඒකකයේ හොඳින් තියන්නට කටයුතු කර තිබෙනවා.
 
මම හිතන්නේ තව අපිට ටික දවසක් මේ දරුවන් වගේම අම්මවත් රෝහලේ තියාගන්න වේවි.” වෛද්‍ය ප්‍රබෝධ රණවීර මහතා සිනාමුසු මුහුණින් යුතුව කීවේය.
 
මේ සටහන අවසන් කිරීමට පෙර අප රැඳී සිටි ඉසව්වට මඳක් ඔබ්බෙන් වාඩි වී හුන් රසාංජලිගේ මව, මංගලිකා මහත්මිය හමුවීමු. අප ඇසූ ප්‍රශ්නයට ඇය පිළිතුරු දුන්නේ මෙහෙමය.
 
“මට දූලා දෙන්නෙක් ඉන්නවා. පොඩි දුව විශ්වවිද්‍යාල සිසුවියක්. තාත්තා නැතිව මම මේ දරුවන් දෙන්නව දුක් විඳලා හැදුවා. අද මට හුඟාක් සතුටුයි. මගේ ලොකු දුව එකවර දැරියන් 5 දෙනකුගේ අම්මා කෙනෙක් වුණා. ඇත්තටම මට දැනෙන්නේ ඇය දැන් රැජනක් කියලයි.” මංගලිකා මහත්මිය කීවේ උද්දාමයෙනි.
 
මව්බිම පුවත්පත වෙනුවෙන් සමන් ප්‍රියංකර නම්මුනිගේ ලියූ සටහන
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top