පොලිස් වෙඩි පහරින් මිය ගිය, සමයංගේ වෙඩික්කරු ඉන්ද්‍රා ගැන තොරතුරු රැසක් එළියට
Saturday, 29 August 2020 - 14:11 | Views - 835

අත්අඩංගුවෙන් මිදී පළා යාමට තැත් කිරීමේදී පොලිස් වෙඩි පහරින් මිය ගිය ඉඳුනිල් වජිර කුමාර හෙවත් ඉන්ද්‍රා පිළිබඳ තොරතුරු රැසක් අනාවරණ වී තිබෙනවා.
මහනුවර - අංකුඹුර ප්‍රදේශයේ පුද්ගලයෙකු වෙඩි තබා ඝාතනය කිරීම, හංවැල්ල ප්‍රදේශයේදී කඩුවලින් කපා පුද්ගලයෙකුට තුවාල සිදුකිරීම, හංවැල්ල ප්‍රදේශයේදී කණ්ඩායමක් සමඟ එක්ව කඩුවලින් පහර දී පුද්ගලයෙකු ඝාතනය කිරීම සහ කප්පම් ගැනීම් කටයුතු වල ඔහු නිරත වී ඇති බව මේ වන විට සිදුකළ පරීක්ෂණවලින් අනාවරණ වූ බවයි පොලීසිය සඳහන් කළේ.
කළුතර - එතනමඩල ප්‍රදේශයේදී ඝාතනය වූ සමයංගේ ප්‍රධාන වෙඩික්කරුවෙකු වන ඔහු හිටපු යුද හමුදා සෙබලෙකු වන අතර අංකුඹුර ප්‍රදේශයේ සිදුවූ ඝාතනයට රක්ෂිත බන්ධනාගාරගතව සිට නිදහස ලැබූ අයෙක්.
එමෙන්ම, මොහු හංවැල්ල සහ අතුරුගිරිය යන ප්‍රදේශවල කප්පම් එකතු කළ ප්‍රධාන පුද්ගලයා ද වන බව සඳහන්.
සමයංගේ මරණයෙන් පසුව මොහු මෑතකාලීනව ද නවගමුව ප්‍රදේශයේ කප්පම් මුදල් ලබා ගැනීම් ද සිදුකර ඇති අතර මොහුට ඇති බිය නිසා ජනතාව ඒ පිළිබදව පැමිණිලි ඉදිරිපත් කර නොමැති බවයි පොලීසිය සඳහන් කළේ.
ඝාතන සඳහා මනා හැකියාවක් සහ පුහුණුවක් ද ඔහු සතුව පැවති බවයි පොලීසිය සිදුකළ විමර්ශනවලදී වැඩිදුරටත් අනාවරණ වී ඇත්තේ.
පෙරේදා දින පොලීසිය මොහු අත්අඩංගුවට ගැනීම සඳහා විශේෂ මෙහෙයුමක් සිදුකළ අතර, එහිදී සැකකරු කැළණි ගඟට පැන පළායාමට උත්සාහ කර ඇති බව සඳහන්.
පසුව අත්අඩංගුවට ගත් සැකකරුගෙන් සිදුකළ ප්‍රශ්න කිරීම්වලදී ඔහු ආයුධ සඟවා තිබෙන ජල්තර - ඇඹුල්ගම ප්‍රදේශයේ අදාළ ස්ථානයට ඊයේ රාත්‍රියේ රැගෙන යනු ලැබුවා.
පසුව එම ස්ථානයේ ජල ටැංකියක් තුළ සඟවා තිබූ ආයුධ කිහිපයක් පොලීසිය සොයාගෙන තිබෙනවා.
ඒ අනුව මයික්‍රෝ වර්ගයේ පිස්තෝලයක් සහ උණ්ඩ පහක්, ගල්කටස් වර්ගයේ ගිනි අවියක්, අත් බෝම්බයක් සහ තියුණු ආයුධයක් සිය භාරයට ගත් බවයි පොලීසිය සඳහන් කළේ.
පසුව සැකකරු යළි පොලිස් ජීප් රථයෙන් රැගෙන එන අවස්ථාවේදී නවගමුව ප්‍රදේශයේදී එහි රියදුරුගේ ගෙළ සිරකර පොලිස් රථය කැළණි ගඟට පෙරළීමට උත්සාහ කර තිබෙනවා.
එහිදී ඔහු සදහන් කර ඇත්තේ වාහනය නතර නොකළහොත් තමන් මරාගෙන මැරීමට සූදානම් බවයි.
ඉන් අනතුරුව එය වැළැක්වීමට අසළ සිටි පොලිස් නිලධාරියා විසින් සැකකරුට වෙඩි ප්‍රහාරයක් එල්ල කළ බවයි පොලිසිය සඳහන් කළේ.
එහිදී බරපතල තුවාල ලැබූ 27 හැවිරිදි ඉඳුනිල් වජිර කුමාර හෙවත් ඉන්ද්‍රා නවගමුව රෝහලට ඇතුළත් කිරීමේදී ජීවිතක්ෂයට පත්වී තිබෙනවා.
තුවාල ලැබූ පොලිස් රථයේ රියදුරුද ජාතික රෝහලට ඇතුළත් කර ඇති බවයි වාර්තා වන්නේ.
මේ අතර, ඉන්ද්‍රාගේ ගෝලයින් දෙදෙනෙකු සොයා නවගමුව පොලීසිය මේ වන විට විශේෂ මෙහෙයුමක් ද ක්‍රියාත්ම කර තිබෙනවා.
එමෙන්ම, කඩවත ප්‍රදේශයේදී ඊයේ දිනයේදී පොලිස් විශේෂ කාර්ය බලකාය කෙසෙල්වත්ත දිනුක නැමති පාතාල සාමාජිකයාගේ සමීපතමයෙකු හෙරොයින් ග්‍රෑම් 11ක් සමඟ අත්අඩංගුවට ගෙන තිබුණා.
මේ අතර, යක්කලමුල්ල - ඇල්ල ඉහළ ප්‍රදේශයේදී නීතිවිරෝධී ගිනි අවි 2ක් සමඟ සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
පොලිස් මාධ්‍ය කොට්ඨාශය සඳහන් කළේ ඊයේ පස්වරුවේ සහ රාත්‍රියේදී සිදුකළ වැටලීම්වලදී මෙම ගිනි අවි සමඟ සැකකරුවන් අත්අඩංගුවට ගත් බවයි. මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ 32 සහ 45 වියේ පසුවන දෙහිගහහේන සහ ගල්කන්ද ප්‍රදේශවල පදිංචිකරුවන් දෙදෙනෙක්.
Share This Article