වැඩිමහල් කාන්තාවක් සමඟ පෙමින් වෙළුණු 33 හැවිරිදි තරුණයා, අමානුෂික ලෙස ඇයව අන්තිම ගමන යැවූ හැටි වමාරයි
Tuesday, 25 August 2020 - 15:31 | Views - 9,044

ගම්පොළ පොලිස් වසමේ නාරංවිට ගම් ප්‍රදේශයේ ජීවත් වූ කස්තුරිආරච්චිගේ තමරා කුමාරි 51 හැවිරිදි විවාහක කාන්තාවක්. එකදරු මවක් වුනා.
එහෙත් ඇය මෙම නිවසේ කල් ගෙවූයේ තනිවමයි. ඒ සැමියා විදෙස් ගතව සිටීමත්, එකම පුතා විවාහ වී නිවසින් බැහැරව පදිංචිව සිටි නිසයි.
තමරාගේ ළඟම ඥාතී හිතවතුන්ද නිවස් අසළ පදිංචිව සිටි නිසා ඇයට එතරම් පාළුවක් දැණූනේ නැහැ. ඇය ගැන වැඩිපුරම සොයා බැලුවේ නැගණියයි.
මේ නංගි පදිංචිව සිටියේ ද ඇගේ නිවස ආසන්නයේ යි. තමරා සිය නිවසේ වැඩිපුර ඉවුම් පිහුම් කළේ නැහැ. ඒ වේල් තුනටම ආහාර සැපයීමට නැගණිය කළ නිසායි.
ඒ පසුගිය ජූලි මාසයේ හත්වැනි දිනයයි. එදින තමරාගේ රාත්‍රී ආහාර වේලත් රැගෙන නැගණිය තමරාගේ නිවසට ගොඩ වන විට වේලාව රාත්‍රී හත හමාර පමණ වුනා.
ආහාර පිඟාන අක්කාට පිරි නැමූ නංගි දොර වසා ගන්නා ලෙස උපදෙස් දී ඊට විනාඩි පහකට පමණ පසු නිවසින් පිටව ගියා.
පසුදිනට හිරු උදාවුනා. අක්කට උදේ ආහාර වේල ගෙන ගොස් දීමට සුදානම් වූ නංගි ඊට පෙර අක්කාගේ නිවස දෙස බැලුවා.. එවිට ඇය දුටුවේ ජනේල දොර වසා ඇති බවයි.
තමරා අසනීප රැසකින් පීඩා විඳිමින් සිටියා. අධි රුධිර පීඩනය කොලෙස්ටරෝල් ආදී බෝ නොවන රෝග වැළඳී තිබූ ඇය මසකට දෙතුන් වතාවක් රෝහලට ද යන එනවා.
එදිනද ඇය එසේ රෝහලට යන්නට අතැයි සිතූ නැගණිය ඉදිරියට තැබූ පය පසුපසට ගත්තා.
"තාම ඉස්පිරිතාලේ ඉඳලා ආවේ නැතුව ඇති..."
එලෙස සිතූ ඇය හිත හදාගත්තා.
කෙමෙන් කාලය ගෙවී ගොස් සවස හතර හමාර පසුවුණත් අක්කාගේ නිවස එලෙසින්ම පැවතුණා.
නිවස අසළට යන නංගි 'අක්කේ' කියා නිවස වටයමින් තමරා ට අඬ ගසන්නට වුනා. එහෙත් කිසිම ප්‍රතිචාරයක් ලැබුනේ නැහැ. සැමියා ඇතුළු පවුලේ අයට කතා කළ ඇය ජනේලයක් ඇරවා නිවස ඇර බලන්නට සුදානම් වුනා.
නංගිගේ සැකය නිවැරදි වුනා. අක්කා නිදන කාමරයේ ලේ විලක් මැද මියගොස් සිටියා. මේ බව ගම්පොළ පොලිසියට දැනුම් දීමෙන් පසු විමර්ශන ඇරඹුනා.
කෲරත්වයෙන් ඝාතනය කර තිබූ ඇගේ සිරුරෙහි ඇනුම් හා කැපුම් තුවාල 27ක් ඇති බව වෛද්‍ය පරීක්ෂණයේදී අනාවරණය වුනා.
ඇගේ සිරුර අසළ ලේ තැවරුණ ටී ෂර්ටයක් තිබුණා. ඒ හැරෙන්නට සැකකරු ගැන කිසිම හෝඩුවාවක් සොයා ගැනීමට හැකි වූයේ නැහැ. සොරෙකු මෙය සිදු කළා යන්න සැක කිරීමට හේතු නොවුනේ ඇගේ රන් ආභරණ සියල්ල තිබූ ස්ථානවලම තිබුණු නිසයි.
එහෙත් ඇගේ ජංගම දුරකථනය පමණක් තිබුණේ නැහැ. මුළු නිවසම සෝදිසි කළත් එය හමුවූයේ නැහැ.
ඒ අනුව පොලිසියට යම් සැකයක් මතුවුනා.
නවීන තාක්ෂණය උපයෝගී කරගෙන පොලිසිය විමර්ශන කටයුතු ඇරඹුවා.
විමර්ශනයේදී හෙළිවූයේ නෙළුම්දෙණිය ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙකු ගැනයි. එහෙත් මේ ඝාතනයට එක්වරම මේ පුද්ගලයා අත්අඩංගුවට ගැනීමට පොලිසිය කටයුතු කළේ නැහැ. වෙස් වලාගෙන තොරතුරු සොයන්නට පටන් ගත්තා.
ඒ අනුව පොලිසියේ කිහිප දෙනෙක් නෙළුම්දෙණියට යන්නේ කොරෝනා ගැන සමීක්ෂණයක යෙදෙන කණ්ඩායමක් විදිහටයි. පසුව මෙම පුද්ගලයා නාවික හමුදා අංශයේ බුද්ධි අංශයේ හිටපු නිලධාරියෙකු බව අනාවරණ වුනා. ඔහු නීත්‍යානූකූල ලෙස සේවයෙන් ඉවත්ව තිබුනේ නැහැ.
එනම් නාවික හමුදාවෙන් පැන යන ඔහු ගමෙන් පිට වෙනත් ප්‍රදේශයක හොර රහසේ රැකියාවක නිරත බවට අනාවරණය වුනා. මොහු විවාහකයෙකු වන අතර බිරියගේ නම ගම ඇතුළු තොරතුරු සොයා ගැනීමට පොලිසිය සමත් වුනා.
තොරතුරු සොයා ගැනීමේ අදහසින් ඔවුන් මෙම පුද්ගලයාගේ බිරියගේ මුහුණූ පොතට පිවිසෙන්නේ හෝඩුවාවක් ලබා ගැනීම අරමුණු කරගෙනයි.
එය අලංකාර ඡායාරූප රැසකින් සමන්විත වුනා. සැකකාර පුද්ගලයාගේ බිරියගේ ෆේස්බුක් ගිණුමේද ඇය විවාහයට පෙර පෙම්වතා සමඟ කළ "ෆ්‍රී ෂූට්" ඡායාරූප රැසක් තිබුණා. නානා විධ ඇඳුම් වලින් සැරසී ඡායාරූප ගෙන තිබූ අතර ඉන් එක් ඡායාරූප කණ්ඩයක් කෙරෙහි විමර්ශන කණ්ඩායමේ අවධානය යොමු කෙරුණා.
ඒ ඔහු ටීෂටයකින් සැරසී සිටි ඡායාරූපයයි. මේ ෂර්ටය විමර්ශන කණ්ඩායමට දැක පුරුදු එකක් වුනා. ඒ තමරා මරා දමා තිබූ ස්ථානයේ ද මෙවැනි වූ ටීෂර්ටයක් තිබූ නිසයි. පසුව මෙය ලේ තැවරී තිබූ ටීෂර්ටමය බවට තහවුරු කරගැනීමට නිලධාරින්ට එැකි වුනා. සැකකරු ඇල්ලීමට මෙහෙයුම් දියත් කළේ ඉන් අනතුරුවයි.
කෑගල්ල නගරයේදී අත්අඩංගුවට ගැණුනු ඔහු ප්‍රශ්න කිරීම්වලදී පැවසුවේ මිස් කෝල් එකකින් තමරා කුමාරිව දැන අඳුනගත් බවයි.
"මිස් කෝල් එකෙන් පස්සේ එයා දිගටම මාත් එක්ක කතා කළා. හැබැයි හම්බ වෙන්න නම් ගියේ නෑ. එදා... ගිය මාසේ හත් වෙනිදා එයා මට කෝල් එකක් දීලා කිව්වා, රෑට එයාගේ ගෙදර එන්න කියලා.."
"මම මීට කලින් එයාව දැකලාවත් තිබුණේ නැහැ. ගෙදර තියෙන තැනත් හරියට දැනගෙන හිටියේ නැහැ. එයා කිව්ව විදිහට පාර හොයාගෙන ගෙදරට යද්දි වේලාව රෑ හත වගේ වුනා..."
ඒ අනුව මොහු තමරාගේ නිවසට යන්නේ රාත්‍රී හතට පමණයි. තමරාගේ නැගණිය පවසන පරිදි ඇය අක්කාට කෑම රැගෙන යන්නේ රාත්‍රී හතහමාර පමණයි.
කිසිදා නොදැක සිටි තමන්ට වඩා වසර 20ක් පමණ වැඩිමහලු තමරාගේ නිවසට මොහු එන්නේ රාත්‍රීය එහි ගත කිරීමේ සුදානම ඇතිවයි. ඒ අනුව මොහු කොට කලිසමක් හා ටීෂර්ටයක් බෑගයක දමා ගත්තා. තමරාගේ මඟ පෙන්වීමට අනුව ගම්පොල එන මොහු කොත්තුවක් මිලදී ගත්තා.
කලුවර වැටීමෙන් අනතුරුව මොහු කාටත් නොපෙනෙන අයුරින් තමරාගේ නිවසට රිංගා ගත්තා.
"මම එදා එහේ ඉන්න හිතාගෙනයි ගියේ. අපි කෑම එහෙම කාලා හොඳින් හිටියා. ඊට පස්සෙ එයා මගෙන් සල්ලි ඉල්ලන්න පටන් ගත්තා.."
ඇය මුදල් ඉල්ලූවේ කුමක් හේතු කරගෙන යැයි පැහැදිලි නැතත් ඔහු පවසන්නේ ගණිකාවක් හැසිරෙන ලෙස ඇය තමන්ගෙන් මුදල් ඉල්ලා කරදර කළ බවයි.
"රුපියල් දහ දාහක් ඉල්ල ඉල්ලා ඒ ගැන මාත් එක්ක රණ්ඩු කරන්න පටන් ගත්තා. සල්ලි නොදුන්නොත් වටේටම ඇහෙන්න කෑ ගහනවා කියලා මට තර්ජනය කළා. ඒ වෙලාවේ තමයි මට යකා නැග්ගේ.."
"මම එයාගේ කට වහලා අල්ලගෙන වට පිට බලද්දි කතුරක් දැක්කා. මම ඒකෙන් එයාට ඇනගෙන ඇනගෙන ගියා. කතුරු පහර වලට එයා අඩපණ වෙලා බිම වැටුණා...."
"එයා මැරිලා කියලා තේරුණා. ඒත් ඒ රෑ මට යන්න තැනක් තිබුණේ නැහැ. ඒක නිසා මම එදා රෑ ඒ ගෙදර ඒ කාමරේ ඇඳට වෙලා නිදාගත්තා.."
"යද්දි අරගෙන ගිය ඇඳුම් පාර්සලේ ඒ කාමරේ අයන් බෝඩ් එක උඩ තියලා තිබුණේ. පාන්දර යන්න ලෑස්ති වෙන ගමන් ඇඳගෙන යන්න ගෙනාපු ටීෂර්ට් එක අතට ගත්තා. ගන්නකොටම අත ඇරිලා බිම වැටුණා. ඒක වැටුනේ එයා මැරිලා හිටපු තැන. එතන එයාගේ ඇඟ වටේම ලේ ගලලා ගිහින් තිබුණා. ටීෂර්ට් එක වැටුනේ ලේ ගොඩේ.."
"බලද්දී ඒකේ ලේ ගෑවිලා. මම ඒක එහෙමම තියෙද්දී ඇඳගෙන ආපු ඇඳුම්ම ඇඳගෙන ගෙයි දොරත් ඇදලා වහගෙන යන්න ගියා. පාන්දර නිසා කවුරුත් මාව දැක්කේ නෑ. පයින්ම ගම්පොළට ගිහින් බස් එකක නැගලා මම වැඩ කරන කඩවත වැඩපළට ගියා.."
මේ සැකකරුගේ වයස අවුරුදු 33 ක් වනවා. මොහු කඩවත ආයතනයක වැඩ පරීක්ෂකවරයෙකු ලෙස සේවයේ යෙදී සිටිනවා. ඇගේ ජංගම දුරකථනය ගෙන ගොස් ඔහු එය විකුණා දමා ඇති අතර ඇයව ඝාතනය කිරීමට යොදා ගත් කතුර ද පොලිසිය විසින් සොයා ගැණුනා.
මේ පුද්ගලයා විවාහ වී ඇත්තේ මෑතකදී යි. බිරිය මංගල ඡායාරූප එක් කර තිබුනේ ඒ නිසයි. අවුරුදු විසි ගණනක් වන ඇය ගැබිණියක් බව ද විමර්ශනවලදී හෙළි වුනා.
මොහුගේ පාපොච්චාරණය අසත්‍ය එකක් බවට පොලිස් නිලධාරින් සැක කරනවා. මොහු ඇගේ නිවසට එදින ගොස් ඇත්තේ ද පුරුදුකාරයෙක් ලෙසයි.
පෙම්වතා හමුවූයේ පළමු වරට නම් මුදල් ඉල්ලා ඔහුට කරදර කිරීමට ඇය පෙළඹුණා යන්න සිතා ගැනීම අපහසුයි.
කරුණූ කාරණා කෙසේ වුවද හිටපු නාවික හමුදා බුද්ධි අංශ සාමාජීකයා අද මනුෂ්‍ය ඝාතන නිසා සිර ගෙදරය. ඔහුගේ තරුණ බිරිය ලොවට මුහුණ දීමට නොහැකිව කල් ගෙවනවා නියතයි.
ලැබෙන්නට සිටින දරුවාගේ පියා සිරගතව සිටින්නේ තමන්ට වඩා වයස අවුරුදු දහ අටක් වැඩිමල් කාන්තාවක සමඟ අනියම් ඇසුරක් පවත්වා ඇය ඝාතනය කිරීමේ චෝදනාවටයි.
ඔහු ඇය මරා දමන්නේ ලිංගික සම්බන්ධතා පැවැත්වීමෙන් අනතුරුවයි.
අධිකරණයට ඉදිරිපත් කළ සැකකරු රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට නියෝග කෙරුනා.
-තක්ෂිලා ජයසේකර සහ සුරංග රාජනායක විසින් "මාංචු" පුවත්පතට ලියූ ලිපියක් ඇසුරින් සකස් කෙරිණි.-
Share This Article