ජනපති උපදෙසින් වසර 8කට පසු, කෘෂිකර්ම දෙපාර්තමේන්තුවට බඳවා ගැනීම්
Tuesday, 25 August 2020 - 8:51 | Views - 9,264

ශක්තිමත් දේශීය ආර්ථිකයක් ගොඩනැගීම සඳහා කෘෂි අස්වනු ඉහළ නැංවීමට කාලය එළඹ ඇති බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ පවසනවා.
ඒ සඳහා යෝජනා රැසක් ඉදිරිපත් කළ ජනාධිපතිවරයා කොරෝනා වසංගතය නිසා බිඳ වැටෙමින් පවතින සෙසු රටවල ආර්ථිකයන් නිරීක්ෂණය කොට දේශීය කෘෂි ආර්ථිකය ශක්තිමත් කිරීමේ වැදගත්කම ද පෙන්වා දෙනවා.
වී හා ධාන්‍ය, කාබනික පොහොර, එළවළු, පළතුරු, මිරිස්, ළුෑණු හා අර්තාපල් වගා ප්‍රවර්ධනය සහ බීජ නිෂ්පාදනය මෙන්ම උසස් තාක්ෂණික කෘෂිකර්ම රාජ්‍ය අමාත්‍යාංශයේ ඉදිරි සැලැස්ම පිළිබඳව ජනාධිපති කාර්යාලයේ ඊයේ පැවති සාකච්ඡාවකට එක්වෙමිනුයි ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේ.
මෙරට වාර්ෂික අර්තාපල් අස්වැන්න ටොන් 80,000ක්. කෙසේ වෙතත්, පාරිභෝගික අවශ්‍යතාව ටොන් දෙලක්ෂ 50,000ක් වන අතර, අර්තාපල් ආනයනය නොකර දේශීයව අවශ්‍යතා සපුරා ගැනීමට ගොවීන් දිරිමත් කළ යුතු බවටයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ පෙන්වා දෙන්නේ.
ඉහළ තාක්ෂණය යටතේ දෙමුහුන් බීජ සහ පැළ ගොවීන්ට බෙදා දී ඉලක්කය ජය ගැනීමටත් වෙනත් ආදේශක අල වර්ග, පාරිභෝජනයට දිරි ගැන්වීමෙන් අර්තාපල් ආනයනය සීමා කිරීමට හැකි බවයි ආර්ථික පුනර්ජීවනය පිළිබඳ ජනාධිපති කාර්ය සාධක බලකායේ ප්‍රධානී බැසිල් රාජපක්ෂ එම සාකච්ඡාවට එක්වෙමින් සදහන් කළේ.
වසර 8ක කාලයක සිට කෘෂිකර්ම දෙපාර්තමේන්තුවට බදවා ගැනීම් සිදුකර නොමැති බවත්, පුරප්පාඩු කඩිනමින් සම්පූර්ණ කර ක්ෂේත්රයේ ප්‍රවර්ධනයට විධිමත් වැඩපිළිවෙලක් සකස් කරන ලෙසට ද එහිදී ජනාධිපතිවරයා අදාළ නිලධාරීන්ට උපදෙස් ලබාදී තිබෙනවා.
Share This Article