දිවයින පුරා හදිසි විදුලි බිඳ වැටීම ගැන සී.අයි.ඩී.යෙනුත් පරීක්ෂණ
Tuesday, 25 August 2020 - 8:07 | Views - 340

සමස්ත දිවයිනටම බලපාන ආකාරයෙන් පසුගිය දා සිදුවූ විදුලිය බිඳ වැටීම පිළිබඳ සොයා බැලීමට පත් කළ කමිටුවේ වාර්තාව අද දිනයේදී විෂය භාර අමාත්‍ය ඩලස් අලහප්පෙරුම විසින් විශේෂ විමර්ශනයට ලක් කිරීමට නියමිතව තිබෙනවා.
ඉන් අනතුරුව හෙට දිනයේදී එය අමාත්‍ය මණ්ඩලයට වාර්තා කරන බවයි විදුලිබල අමාත්‍යවරයා ප්‍රකාශ කළේ.
විදුලිය බිඳ වැටීම පිළිබඳව සොයා බැලීමටත් එවැනි තත්ත්වයක් නැවත ඇතිවීමේ ප්‍රවණතාව අවම කිරීමේ ක්‍රියාමාර්ගයන් පිළිබදව හඳුනා ගැනීමටත් කමිටුවක් පත් කෙරුණේ මහාචාර්ය රාහුල අතලගේගේ ප්‍රධානත්වයෙන්.
නියෝජිතයින් 9 දෙනෙකුගෙන් සමන්විත කමිටුව සකස් කළ අදාළ වාර්තාව ඊයේ දිනයේදී අමාත්‍ය ඩලස් අලහප්පෙරුම වෙත භාර දෙනු ලැබුවා.
කෙරවලපිටියේ සිට විදුලිය බෙදාහරිනු ලබන ග්‍රිඩ් උප පොළක ඇති වු විදුලිය බිද වැටීමක් හේතුවෙන් පසුගිය 17 වනදා පස්වරු 12.30 සිට පැය 08ක පමණ කාලයක් සමස්ත දිවයිනටම විදුලිය විසන්ධි වුණා.
පසුව නොරොච්චෝලේ බලාගාරය ද අක්‍රිය වූ අතර, එහිදී ලංකා විදුලිබල මණ්ඩලය තීරණය කළේ දින 3ක කාලයක් පැය බැගින් කොටස් වශයෙන් දිවයින පුරා විදුලි කප්පාදුවක් සිදුකිරීමටයි.
මේ අතර, හිරු ටී.වී. ඔස්සේ ඊයේ විකාශය වූ සලකුණ විශේෂ වැඩසටහනේදී ද සංවාදයට ලක්වූයේ දිවයින පුරා සිදුවූ හදිසි විදුලි බිද වැටීම පිළිබදවයි.
ඊට එක්වෙමින් අදහස් දැක්වූ ලංකා විදුලිබල මණ්ඩලයේ සභාපති විජිත හේරත් සඳහන් කළේ හදිසි විදුලි බිද වැටීම පිළිබඳව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් ද මේ වන විට පරීක්ෂණයක් ආරම්භ කර ඇති බවයි.
එම වැඩසටහනට විදුලිබල මණ්ඩලයේ අතිරේක සාමාන්‍යාධිකාරී ආචාර්ය සුසන්ත පෙරේරා එක්ව සිටියා.
Share This Article