මට මොනව හරි දෙයක් වුණොත් කුඹුරු කෑල්ල කරගෙන දරුවන්ව බලාගෙන ඉන්න කියලා විහිළු කරලා ගිය කෙනා ගෙදරට ආවේ පෙට්ටියේ
Monday, 24 August 2020 - 13:50 | Views - 372
දුප්පත්කමේ පතුලට වැටුණු මිනිසුන් ජීවත්වීම සඳහා නොකරන දෙයක් නැති තරම්ය. එදා වේල සරිකර  ගන්නට කුලියක් හෝ නොලැබුණ තැන ගස් නැඟීම පොල් කැඞීම වැනි අවදානම් වැඩවල හෝ ඔවුන් නිරත වන්නේ එසේ නොකළහොත් ගෙදර සිටින දරු පැටවුන්ට හාමතේ සිටින්නට සිදුවන නිසාය. මේ එකක්වත් නොලැබුණු තැන සමහරුන් වැවකට ගොස් මාළුවකු හෝ අල්ලා විකිණීමට පෙළෙඹෙති.

හිඟුරක්ගොඩ පොලිස් වසමට අයත් කවුඩුල්ල 31 කොලණියේ පදිංචිව සිටි ජී. සුගත් අබේකෝන් යන දෙදරු පියා ද මෙවැනි පන්නයේ මිනිසෙකි. මෙම ප්‍රදේශයේ තවමත් යල කන්නයේ වී අස්වනු නෙළීම ආරම්භවී නොමැති නිසා අබේකෝන්ට ද හරි හමන් කුලියක් ලැබී තිබුණේ නැත. අහස දෙස බලා හූල්ලමින් සිටියාට අතට කීයක්වත් නොලැබෙන නිසා ඔහු නිවසට මඳ දුරකින් පදිංචි වී සිටින කුමාර අයියා සමග කවුඩුලූ වැවට ගොස් මාළු ඇල්ලීමට තීරණය කළේය. ඒ ඉකුත් 17 වැනිදා උදෑසන ය. එතැන් සිට සිදුවූ දෙය අපට කියා සිටියේ අබේකෝන්ගේ බිරිඳ වූ එම්. සුජාතාය.
 
එදා උදේ සුගත් මට කිව්වා මේ දවස්වල වැඩක් පලක් නැති නිසා කුමාර අයියත් එක්ක කවුඩුලූ වැවට මාළු අල්ලන්න යනවා කියලා. සමහර අවස්ථාවලටත් එයා එහෙම යන හින්දා මම එපා කිව්වේ නැහැ. හැබැයි එයා කිව්වා අපි යන හරියේ අලි ඉන්නවා මොනව වෙයිද දන්නෙ නෑ කියලා.
 
සුගත් එහෙම කියලා එළියට බැහැලා ටිකක් දුර ගිහින් ආපහු ආවා. මා දිහා බලාගෙන ඉඳලා කිව්වා මට මොනව හරි දෙයක් වුණොත් කුඹුරු කෑල්ල කරගෙන දරුවෝ දෙන්න බලාගෙන ඉන්න කියලා. මම විහිළුවට නෙවෙයි එහෙම කියන්නේ කියලා යන්න ගියා.
 
 හවස 2.30 ට විතර මට පණිවිඩයක් ආවා සුගත්ලට අලියෙක් පන්නලා එයාල වැවට පැනලා කියලා. සුගත් ගැන තොරතුරක් නැහැ කියලත් කිව්වා. අපි ඉක්මනට කවුඩුලූ වැවේ ඔය කියන දිහාවට ගියා. එතැන කුමාර අයියයි තවත් කට්ටියකුයි හිටියා. ඒත් සුගත් පේන්න හිටියේ නැහැ. අන්තිමට යෝධ ඇළ පැත්තේ කීප දෙනෙක් වැවලට පැනලා පීනලා ගිහින් සුගත්ව සොයාගෙන ආවා. ඒත් දෙයියනේ ඒ වෙනකොටත් සුගත් අපිව දාලා ගිහින්. උදේ කරපු විහිළුව ඇත්තක් වෙලා මමයි දරු පැටව් දෙන්නයි ලෝකේ තනිවුණා. සුජාතා ඉකිබිඳිමින් අමිහිරි සිදුවීම් පෙළ අවසන් කළාය.
 
මෙහිදී සුගත් සමග සිටි කවුඩුල්ල උතුරු යටියල්පතන යූ. සරත්චන්ද්‍ර කුමාර (63) තම සගයා අහිමි වූ ආකාරය අපට මෙසේ පැවැසුවේය.
 
අපි උදේ 8.30 ට විතර තමයි ගෙවල් වලින් පිටත් වෙලා මාළු අල්ලන්න කවුඩුලූ වැවේ වග වලාව කියන පැත්තට ගියේ. අපි ගියපු බයිසිකලය ගෙදරක දාලා පයින්ම හැතැක්මක් විතර වැව ඇතුළට ගියා. ඒ හරියේ නිතර අලි ඉන්නවා. දවල් එක දෙක වෙනකොට අපි දෙන්නා මාළු කිලෝ හතරක් පහක් අල්ල ගත්තා. දවල්ට කාලා එහෙම අපි දෙන්නා ගෙදර එන්න පිටත් වුණා. අපි ආවේ වැවේ වතුරට කිට්ටුවෙන්මයි. එහෙම ටික දුරක් යනකොට කැලේ ඇතුළේ ඉඳන් එකපාරටම අලියෙක් මතුවුණා. අපිට කර කියා ගන්න දෙයක් නැති වුණා. අලියා පන්නාගෙන එන බව දැක්කම අබේකෝන් දුවගෙන ගිහින් වැවට පැන්නා.
 
දැන් අලියා මා පස්සෙන් එලවනවා. මමත් දුවගෙන ගිහින් වැවට පැන්නා. අලියත් පැන්නා. ඒත් අලියට මාව අල්ලගන්න බැරිවුණා. මමත් වැවේ පීනමින් ඉන්නකොට මම දැක්කා සුගත් වැවේ පීනනවා. ඒත් කලබලේට මට ඒ පැත්තට යා ගන්න බැරි වුණා. අලියා එහෙ මෙහෙ වෙනකම් ඉඳලා මම සුගත් කෝ කියලා හෙව්වත් එයා පේන්න හිටියේ නැහැ. ටික වෙලාවකින් මම ගොඩට ආවා. ඉක්මනට තොටුපළ පැත්තට ගිහින් එතැන හිටිය අයට සිද්ධිය කිව්වා. ඒ අයත් ඇවිත් සුගත්ව හෙව්වත් හොයා ගන්න බැරිවුණා. 5.00 ට විතර යෝධ ඇළේ කීප දෙනෙක් වතුරට බැහැලා සුගත්ව හොයා ගත්තා එතකොටත් එයා නැති වෙලා.
 
මෙහිදී මිය ගිය සුගත් අබේකෝන් (48) යන අයගේ පශ්චාත් මරණ පරීක්‍ෂණය සිදු කළ පොලොන්නරුව රෝහලේ අධිකරණ වෛද්‍ය ඞී. එල්. වෛද්‍යරත්න මහතා නිගමනය කර තිබුණේ මෙම මරණය දියේ ගිලී හුස්ම හිරවීමෙන් හා පෙනහලූවලට ජලය ඇතුළුවීමෙන් සිදුවූ මරණයක් බවයි.
 
දෙදරු පියකු වන සුගත් අබේකෝන් අනපේක්ෂිත ලෙස තම දිවියට සමුදෙන්නේ ප්‍රශ්න රැසක් ඉතිරි කරමිනි. ඔහුගේ වැඩිමහල් දරුවාට වයස අවුරුදු 14 කි. දෙවැන්නාට වයස අවුරුදු දෙකහමාරකි. බිරිඳ වන සුජාතාට රැකියාවක් හෝ ආදායමක් නැත. ඒ නිසා ඔහුගේ මරණයෙන් පසු බිරිඳ හා දරු දෙදනා පත්ව ඇත්තේ අන්ත අසරණ තත්ත්වයකටය.
 
ජීවිතය යනු අපට අවැසි ලෙස ලබා ගන්නටත් එසේම අවසන් කරන්නටත් හැකි දෙයක් නොවේ. ඒ නිසා මෙලොව සිටින කාලය තුළ ඊට වටිනාකමක් එක් කිරීම කාගේත් වගකීමයි. එසේ නොවන සෑම සමුගැනීමක් තුළම ඇත්තේ දුක හිතෙන කතාවකි. කවුඩුල්ල 31 කොලණියේ සුගත් අබේකෝන්ගේ කතාව ද එවැන්නකි.
 
හිඟුරක්ගොඩ - අතුල සූරියබණ්ඩාර
දිවයින
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top