රෝගීන්ගේ රන් ආභරණවලට වෙදකම් කළ ව්‍යාජ වෛද්‍යවරයා කොටු වූ හැටි මෙන්න
Monday, 24 August 2020 - 10:10 | Views - 517

අමල් අනුරාධපුර දෙවැනි පියවරේ පදිංචි තරුණයෙකි. ඔහු එම ප්‍රදේශයේම ජනප්‍රිය පාසලක අධ්‍යාපනය හැදෑරුවේය. පාසල් කාලයේ සිටම ඔහු සට කපටියෙකි. විවිධාකාරයේ මුසාබස් පවසමින් පාසල් සිසුන් රවටා මුදල් ගැනීම එකල ඔහුගේ ප්‍රධාන ආදායම් මාර්ගය විය.
අද රැවටෙන කෙනා තව දින කිහිපයකින් යළිත් ඔහුට රැවටේ. ඒ තරමටම ඔහු මිනිසුන් රැවටීමට දක්ෂයෙකි. එම නිසා පාසල තුළදී බොහෝ අය ඔහුව හැඳින්වූයේ ‘‘ඇම්ඩන්’’ යන අන්වර්ථ නාමයෙනි.
අපොස උසස් පෙළ විභාගයට මුහුණ දුන්නත් ඔහුට එම කඩ ඉම ජය ගැනීමට නොහැකි විය. එම නිසා අධ්‍යාපනය නවතා දැමූ ඔහු සුදුසු රැකියාවක් සොයා ගැනීමට උත්සාහ කළේය.
රජයේ රැකියා කිහිපයකට ඔහු ඉල්ලූම් කළේය. එහෙත් කිසිවකින් ඔහුට පිළිතුරු නොලැබුණි. ඒ ඔහුට නිසි සුදුසුකම් නොමැති වීමයි. එම නිසා රජයේ රැකියා සෙවීම ඔහු අතහැර දැමුවේය. ඒ අනුව අනුරාධපුර ප්‍රදේශයේ පෞද්ගලික ආයතනයක ඔහු රැකියාවක් සොයා ගත්තේය.
මාස කිහිපයක් නිසි අයුරින් ඔහු එම රැකියාව සිදු කළේය. ඉන්පසු ඔහු එම ආයතනයෙන් මුදල් වංචා කිරීමට පටන් ගත්තේය. ටික කලක් ඔහු එය ජයටම කරගෙන ගියේය. අවසානයේදී එම ආයතනයේ පාලනාධිකාරියට ඒ ගැන දැනගන්නට ලැබිණි. එහි අවසන් ප්‍රතිඵලය වූයේ මොහුට එම රැකියාව අහිමි වීමයි.
එතැනින් නොනැවතුණ ඔහු රැකියා කිහිපයකම යළි නිරත විය. එහෙත් ඒ කිසිවක් දීර්ඝ කාලීනව සිදු කිරීමට ඔහුට නොහැකි විය. ඒ ඔහු සිදු කළ සට කපටකම් නිසාය. අවස්ථා කිහිපයකදී ඔහු පොලිස් අත්අඩංගුවට පවා පත්විය. ඒ මුදල් වංචාවන් සම්බන්ධයෙන්ය.
කලක් එලෙස ගතවිය. වංචාවන් වැඩිවීම නිසා අමල්ට අනුරාධපුරයේ රැකියාවක් සොයා ගැනීමට බැරි තරම් තත්ත්වයක් උදා වූවේය. එමනිසා ඔහු කොළඹ පැමිණියේය. ඒ නව රැකියාවක් සඳහාය.
අමල්ගේ නව රැකියා ස්ථානය පිහිටා තිබුණේ පන්නිපිටිය ප්රදේශයේය. එම අවටින්ම කුලී පදනම මත නවාතැන්පළක් සොයාගත් ඔහු එහි රැඳී සිටිමින් සේවා ස්ථානයට ගියේය.
නයෝමි හෝමාගම ප්‍රදේශයේ පදිංචි තරුණියකි. ඇය සේවය කළේද අමල් සේවය කළ ආයතනයේමය. දෙදෙනා පළමුව හැඳින ගත්තේ කාර්යාල මිතුරන් ලෙසින්ය. එහෙත් දින කිහිපයක් යද්දී අමල් ඇය ගැන විශේෂ උනන්දුවක් දැක්වූවේය. ඒ වනවිටත් ඔහුට තම ගම් ප්‍රදේශයේ පෙම්වතියක් සිටියේය. ඇය නමින් දිලිනිය.
දිනක් අමල් මෙලෙස කල්පනා කළේය. ‘‘ දිලිනි ගමේ කෙල්ලෙක්. හරිහමන් රැකියාවකුත් නැහැ. ලස්සනට අඳින්නේ පළඳින්නේත් නැහැ. ඒ නිසා මට දැන් දිලිනිව ගැළපෙන්නේ නැහැ. ඒ නිසා එයාව දැන් මග හරින්න ඕනා.’’
‘‘ඒ වගේද නයෝමි. හොඳ රැකියාවක් තියෙනවා. කොළඹ ඉපදිලා තියෙන්නේ. ලස්සනට අඳිනවා පළඳිනවා. ඕන තැනක එක්කන් යන්න පුළුවන්. එක නිසා කොහොම හරි නයෝමි එක්ක යාළු වෙන්න ඕනා.’’
තමන්ට පනසේ ආදරය කරන ගමේ පෙම්වතිය අතහැර දමා නගරයේ තරුණිය තම පෙම්වතිය කර ගැනීමට ඔහු සිතා ගත්තේ එලෙසින්ය. ඒ අනුව පළමුව ඔහු විවිධ හේතු කියමින් දිලිනි සමග තිබුණ ප්‍රේම සම්බන්ධතාව නවතා දැමුවේය. දෙවනුව ඔහු නයෝමිට ළංවීමට පටන් ගත්තේය.
ඒ මෙලෙසින්ය. ලද සෑම මොහොතකම ඔහු නයෝමිගේ දුක සැප සොයා බලමින් ඇයට ළං විය. අනන්තවත් මුසා බස් කියමින් ඇයව රැවටුවේය. එලෙසම ඇයගේ සිත දිනා ගැනීමට තවත් බොහෝ දේ සිදු කළේය. මේ සියල්ලටම රැවටුණ ඇය අමල් ගැන සිතා සිටියේ ‘‘ගමින් පැමිණි උගත්, බුද්ධිමත් යමක් කමක් ඇති පවුලක’’ තරුණයෙකු ලෙසයි. එම නිසා ඇයගේ සිතේද ඔහු ගැන ලොකු පැහැදීමක් ඇති වූවාය.
ටික දිනක් එලෙස ගත විය. ඒ අතර කාලය තුළ දෙදෙනා අතර දැඩි බැඳීමක් ඇති වූහ. එහි අවසන් ප්‍රතිඵලය වූයේ දෙදෙනා පෙම්වතුන් බවට පත් වීමයි.
වසරක පමණ කාලයක් ඔවුහු පෙම්වතුන් ලෙස ඇසුරු කළහ. ඒ අතර අමල්ට වුවමනා වූයේ හැකි ඉක්මනින් ඇයව කසාද බැඳ ගැනීමටයි. ඒ කලක් ගත වෙද්දි ඔහුගේ ඇත්ත තත්ත්වය ඇය දැන ගනීවි යැයි යටි සිතේ තිබුණ බිය නිසාය. තමන්ගේ ඇත්ත තත්ත්වය දැන ගතහොත් ඒකාන්තයෙන්ම ඇය තමන් අතහැර යන බව ඔහු දැන ගත්තේය.
අවසානයේ දෙපාර්ශ්වයේම ආශිර්වාද මැද දෙදෙනා විවාහ වූහ. විවාහයෙන් පසු දෙදෙනා හෝමාගම පදිංචි වූහ. ඒ නයෝමිගේ නිවසේය.
විවාහයෙන් පසු නයෝමි රැකියාවෙන්ද ඉවත් වූවාය. වසරක පමණ කාලයක් දෙදෙනා සතුටින් ජීවත් වූහ. ඉන්පසු ටිකින් ටික නයෝමි අමල්ගේ ඇත්ත තත්ත්වය තේරුම් ගත්තාය. එහෙත් ඒ සියල්ල වේදනා සහිතව ඇය ඉවසා සිටියේ අමල් දැන් තමන්ගේ ස්වාමිපුරුෂයා නිසාය.
දිනක් ඒ අතර අමල්ට රැකියාවද අහිමි විය. ඒ ඔහු එම ආයතනයට සිදුකළ වංචා සහගත ක්‍රියා කිහිපයක් පාලනාධිකාරිය දැන ගැනීම නිසාය.
සති කිහිපයක් ඔහු නිවසට වී කල්පනා කළේ ජීවත්වීම සඳහා ඉදිරියේදී සිදු කරන්නේ කුමක්ද කියාය. යළි රැකියාවකට යෑමට ඔහුගේ සිත කිසිසේත් ඉඩ දුන්නේ නැත. ඔහු නිතරම කල්පනා කළේ හැකි ඉක්මනින් මුදල් සොයා ගන්නා ක්රමයකි.
මුදල් සෙවීමේ විවිධ මාර්ග ඔහු කල්පනා කළේය. එහෙත් ඒ කිසිම මාර්ගයකින් ඉක්මනින් මුදල් සොයා ගැනීමට නොහැකි බව ඔහු දැන ගත්තේය. අවසානයේ ඔහු මිනිසුන් රවටා මුදල් සොයා ගැනීමට කල්පනා කළේය. ඒ කිසිවෙකුත් නොසිතූ අපූරු ආකාරයකටයි.
ඒ අනුව දිනක් මොහු මාතර නගරයේ පිහිටි රජයේ රෝහලකට පැමිණියේය. එලෙස පැමිණ පැය ගණනක් රෝහල තුළ ඇති සියලූම දේ ගැන හොර රහසේ විපරම් කර ආපසු ගියේය.
පසු දින යළි අමල් එම රෝහලට පැමිණියේය. ඒ වෛද්‍ය නලාවක් රැගෙන වෛද්‍යවරයකු මෙන්ය. එලෙස පැමිණි ඔහු කිසි බියක් සැකක් නොමැතිව රෝහලේ තිබුණු එක්තරා පාළු කාමරයකට ගියේය. ඒ අසල ප්‍රතිකාර ගැනීම සඳහා පැමිණ සිටි කාන්තාවෝ ද සිටියහ. එක්වරම ඔහු එම කාන්තාවන්ට මෙලෙස පැවසුවේය.
‘‘ඔය බෙහෙත් ගන්න ආපු අය ඉන්නවනම් එක එක්කෙනා මේ කාමරයට එන්න.’’
ඒ අනුව එම කාන්තාවෝ ආ පිළිවෙළට පෙළ ගැසී පළමුව ආ කාන්තාව ඇතුළට ගියාය. අමල් පළමුව බැලූවේ ඇයගේ කණ කර දිහාය. ඇය දුප්පත් කාන්තාවකි. කණ කර කිසි දෙයක් නොතිබුණි. එම නිසා ඔහු එම කාන්තාවගෙන් පවතින රෝගී තත්ත්වය පිළිබඳ බොරුවට විමසා බලා ලොකු දොස්තර මහතා මුණ ගැසෙන ලෙස අණ කළේය.
කාන්තාවන් කිහිප දෙනෙක් ඔහු එලෙස පරීක්ෂා කළේය. ඔවුන් ළඟ වටිනා කණ කර ආභරණ නොතිබුණි. එහෙත් මොහු බලාපොරොත්තු සුන් කර ගත්තේ නැත. දිගින් දිගටම රෝගීන් පරීක්ෂා කළේය.
ඒ අතර කාලය තුළ මැදි වියේ කාන්තාවක් පැමිණියාය. ඇයගේ ගෙලෙහි පවුම් දෙකක පමණ රත්තරං මාලයක් තිබුණි. දැන් තමන්ගේ වාරය පැමිණ ඇති බව අමල් සිතුවේය. එලෙස සිතා ඔහු එම කාන්තාව සමග ඉතා කාරුණික ලෙස මෙලෙස කතා බස් කළේය.
‘‘මොකක්ද අම්මට තියෙන අසනීපය.’’
‘‘අනේ ඩොක්ටර් දවස ගානේ මට ඔළුව කැක්කුමක් හැදෙනවා ඉවසන්න ඉන්න බැහැ.’’
‘‘හරි හරි අම්මා බය වෙන්න එපා. මම ඕක සනීප කරලා දෙන්නම්. මුලින්ම අම්මාව මට පරීක්ෂා කරන්න ඕනා. එක නිසා ඔය කනේ කරේ තියෙන රත්ත්රරං බඩු ටික ගලවලා පැත්තකින් තියන්න.’’
ඒ අනුව එම කාන්තාව තම ශරීරයේ තිබුණ සියලූම රත්තරං ආභරණ ගලවා පසෙකින් තැබුවාය. ඉන්පසු අමල් එම කාන්තාව පරීක්ෂා කර බලමින් රෝගය පිළිබඳ විවිධ තොරතුරු පැවසුවේය. කිසිවක් නොදත් එම අහිංසක කාන්තාව ඒ සියලූ තොරතුරු පිළිගත්තාය. අවසානයේ ඔහු එම කාන්තාවට මෙලෙස පැවසුවේය.
‘‘අම්මා දැන් 4 වෙනි කාමරයට ගිහින් ඒ දොස්තර මහත්තයටත් පෙන්නලා ආපහු මෙතනට එන්න. එතකන් අම්මගේ රත්තරං බඩු ටික මෙතන තියෙනවා. කිසිදේකට බය වෙන්න එපා. ගිහින් ආයි අම්මා මෙතනට එන්න. මම බෙහෙත් දෙන්නම් සදහටම ඔය ලෙඬේ හොඳ වෙන්න.’’
ඒ අනුව වෛද්‍යවරයාගේ කීමට රත්තරං භාණ්ඩ එතැන දමා එම කාන්තාව 4 වෙනි කාමරය සොයාගෙන ගියාය. ඇය යනවාත් සමගම අමල් එම රත්තරං භාණ්ඩත් රැගෙන එම රෝහලෙන් පිටවිය.
අමල් වෛද්‍යවරයකු වශයෙන් පෙනී සිටිමින් කළ පළමු වංචාව එය විය. එලෙස වංචා කර සොරාගත් රත්තරං භාණ්ඩ එදිනම උගස්කර ඔහු රැපියල් 70,000 පමණ මුදලක් ලබා ගත්තේය. ඉන්පසු අමල් දිගින් දිගටම එම ක්‍රියාව සිදුකරගෙන ගියේය.
වසර කිහිපයක සිට ඔහු වෛද්‍යවරයකු සේ හැසිරෙමින් මෙරට රෝහල් පනහකට අධික ප්‍රමාණයකට ගොස් එලෙස කාන්තාවන් රවටා රත්තරං භාණ්ඩ සොරාගෙන රුපියල් ලක්ෂ 30 කට අධික මුදලක් සොයා ගත්තේය. එලෙස උපයාගත් මුදල් වලින් වැඩි කොටසක් ඔහු වියදම් කළේ රාත්‍රී සමාජ ශාලාවල කැසිනෝ ගැසීමට සහ තරුණියන්ටයි.
දිනක් ගාල්ල කරාපිටිය රෝහලටද වෛද්‍යවරයකු ලෙස පැමිණි මොහු රෝගී කාන්තාවන් අටදෙනකු රවටා රත්තරං භාණ්ඩ සොරාගෙන තිබුණි. පසුව එම කාන්තාවෝ ඒ පිළිබඳව ගාල්ල මූලස්ථාන පොලිසියට ඒ පිළිබඳව පැමිණිලි කළහ.
ඒ අනුව ක්‍රියාත්මක වූ එම පොලිස් නිලධාරීහු පරීක්ෂණ සිදු කළහ. එම පරීක්ෂණවලට අනුව සැකකරු පදිංචි වී සිටින හෝමාගම නිවස ගැන තොරතුරු එම නිලධාරීහු සොයා ගත්හ. ඒ අනුව සිදුකළ වැටලීමකදී එම නිවසේ සිටි සැකකරු අත්අඩංගුවට ගැනීමට ඔවුනට හැකිවූහ.
හොර වෛද්‍යවරයකු මෙන් පෙනීසිටි සැකකරුගෙන් කළ ප්‍රශ්න කිරීම් වලදී ඔහු සිදුකළ සියලූම සොරකම් පිළිබඳව පාපොව්වාරණය කර තිබුණි. ඒ අනුව මහනුවර රජවීදියේ රන් භාණ්ඩ සාප්පුවකට රෝගීන්ගෙන් ලබාගත් ලක්ෂ 30 ක් පමණ වටිනා රන් භාණ්ඩ මෙම සැකකරු උගස්කර තිබියදී සොයා ගැනීමට හැකි විය.
මෙරට පුරා ඇති රෝහල් 50 කට අධික ප්‍රමාණයකට ගොස් අහිංසක රෝගීන්ගේ රත්තරං භාණ්ඩ කොල්ලකා ඒවා උගස් කරමින් රාත්‍රී සමාජශාලාවල සහ කම්සැප සොයමින් මුදලට තරුණියන් ඇසුරු කළ හොර දොස්තරට අවසානයේ සිදු වූයේ නීතියේ රැහැනට කොටුවී රක්ෂිත බන්ධනාගාරගත වීමටයි.
ඉරිදා දිවයිනට ගයාන් සමරසිංහ ලියු සටහනකි...
Share This Article