බාලවයස්කාරියකට නරුම වැඩක් කර, කට්ටි පැන්න සැකකරු වසර 15 කට පසු අල්ලයි
Monday, 24 August 2020 - 8:42 | Views - 585

බාලවයස්කාරියකට අතවර කර වසර 15 ක් සැඟවී සිටි පුද්ගලයකු ගම්පොල පොලිසිය මගින් අත්අඩංගුවට ගැනීමෙන් පසු සැකකරු ලබන මස 2 දා
දක්වා රක්‍ෂිත බන්ධනාගාරගත කරන ලෙස ගම්පොල වැඩබලන මහෙස්ත‍්‍රාත් එම්. හුසෙන් මහතා නියෝග කළේය.
මෙසේ රක්‍ෂිත බන්ධනාගාරගත කරනු ලැබුවේ ගම්පොල මාවතුර ප‍්‍රදේශයේදී අත්අඩංගුවට ගත් 49 හැවිරිදි විවාහකයෙකි.
මොහු එවකට ගම්පොළ ප‍්‍රදේශයේ පදිංචිව සිට ඇති අතර ඔහුගේ අසල්වැසි නිවසේ සිටි 17 හැවිරිදි තරුණියක ඇගේ ගෙවත්තේ සිටියදී පිහියක් පෙන්වා ඔහුගේ නිවසට ඇදගෙන ගොස් අතවර කර ඇති බවට චෝදනා ගොනු වී තිබුණි.
පොලිසියෙන් බේරීම සඳහා සැකකරු ප‍්‍රදේශයෙන් පලාගොස් ඇති අතර ඔහු සොයා ගැනීමට නොහැකිව එම විමර්ශන අතරමඟ නැවතී තිබී ඇත.
මේ අතර ගම්පොල කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ශ‍්‍රියන්ත පීරිස් මහතා පසුගිය වසර 20 ක් තුළ නොවිසඳුණු බාලඅපරාධ පිළිබඳව නැවත පරීක්‍ෂණ ආරම්භ කරන ලෙස අපරාධ අංශයට හා නොවිසදුණු අපරාධ අංශයට කළ දැනුම්දීමකට අනුව මෙම අපරාධය පිළිබඳවද පරීක්‍ෂණ ආරම්භ කොට ඇත.
මෙම අපරාධකරු නැවත ගමට පැමිණ මාවතුර ප‍්‍රදේශයේ කුඩා එළවළු කඩයක් පවත්වාගෙන යන බවට ලැබුණු තොරතුරු මත හෙතෙම අත්අඩංගුවට ගෙන තිබුණි.
මෙම සැකකරු 2005.07.08 දින මෙම අපරාධය සිදු කිරීමෙන් පසු කුරුණෑගල මැල්සිරිපුර ප‍්‍රදේශයට පලාගොස් වසර 15 ක්ම එම ප‍්‍රදේශයේ පොල් වත්තක් බලාගනිමින් සිට ඇත.
ඒ අතර කිසි දිනක ගමට පැමිණ නැති අතර මොහුගේ එකම දියණියගේ විවාහයටවත් පැමිණ නැති බව පොලිස් පරීක්‍ෂණ වලින් අනාවරණය වී ඇත.
මොහු අතින් අතවරයට පත් බාල වයස්කාරියද නිසි වයසට පැමිණි පසු විවාහ වී පිට ගමකට ගිය බව දැන ගැනීමෙන් පසු ප‍්‍රශ්නය එතනින් අවසන් වී ඇතැයි සිතා මොහු මෙසේ යළි ගමට පැමිණ තිබුණි.
Share This Article