“..මට මේ ජීවිතේ ඇති කියලා, දෙපාරක්ම ජීවිතේ නැති කරගන්න තැනට ආවා.. පුංචි ලෝකාන්තයෙන් එකපාරක් ඇස් දෙක පියාගෙන පැන්නොත් මැරෙයි කියලා මට හිතුනා..” - පිළිකා මාරයා හා සටන් වැදුනු සචිත් පීරිස්ගේ කවුරුත් නොඇසූ කතාව
“බෙල්ලේ වැල දාගන්න අවශ්‍යතාවයක් තිබුනේ නෑ. වස බීම වේදනාවක්...”
“මට සිංදු කියන්න බැරිවුනා, හිටි හැටියේ හුස්ම හිරවෙන්න පටන් ගත්තා...”
“මුකුත් කරන්න බෑ. කරලා කරලා යවන යවන වැඩේ රිජෙට් වුනා...”
තුරු අස්සෙන් බේරී.. නිල්ල මත් වී...
මේ කියන ගීතවල හඬ අයිතිකරු ඔහු... මීට අවුරුදු කිහිපයකට කලින් රූපවාහිනි තිරයේ ඔබට දකින පේන හැම වෙළඳ දැන්වීමකම වගේ නිර්මාතෘවරයාත් ඔහු... ඒ වගේම ඒ හැම නිර්මාණයකම ඔහුගේ හඬ අපූරුවට අපිට ඇහුණා.
"සචිත් පීරිස්..........." මුහුණු පොතේ යන එන හැමෝටම සුපුරුදු චරිතයක් වුනු ඔහු ගැන බොහෝ දෙනෙකු නොදන්නා කාරණාවක් ඔහු විසින්ම මුහුණු පොතට එකතු කරලා තිබුණා.
"කාලයක් අලුත් සිංදු දෙන්න බැරි උනාට සමාවෙන්න...
ගොඩක් කාලයක් මට සිංදු කියන්න බැරුව හිටියෙ..."
නිර්මාණකරුවෙක්, සංගීත ශිල්පියෙක්. "ක්‍රියෙටිව්" වැඩවලට අතිදක්ෂ කෙනෙක් වුනු "සචිත්"ට ඇත්තටම මොකද වුනේ..? ඔහු අසනීප වුනාද? විදෙස්ගත වුනාද? ඇත්තම කතාව... ඔහු මෙන්න මෙහෙම කියනවා.
"වැඩ වැඩිවෙනකොට මට හිටපු ගමන් අසනීප වෙන්න ගත්තා. අසාමාන්‍ය කැස්සක් එන්න ගත්තා... ලේ වමනය යන්න ගත්තා. ඒත් මට චෙක් කරගන්න උවමානවක් තිබුණේ නෑ... හුඟක් කාර්යබහුල කාලයක්.. එන්න එන්න ටික ටික අමාරු තත්ත්වයක් ආවා.. පවුලේ අයටවත් ඔෆිස් එකේ අයටවත් නොකියා මම ඒක චෙක් කළා. ඩොක්ටර් කිව්වා දිගටම චෙක් කරන්න කියලා. ඩොක්ටර් මට එකපාර දෙයක් කියන් නැතුව කිව්වා, ඔයාට කැන්සර් එකක් කියලා. පෙනහළු වල...."
"එතකොට ඒක මුල් අවධියේ වගේ තිබ්බේ. සතියක් තිස්සේ මම කල්පනා කළා. මම බය වුනා. මම මැරෙයිද හිතුණා. මම බැලුවා කරන්න පුළුවන් දේ.. මට මහරගමට යන්න අවශ්‍යතාවක් තිබුනේ නෑ. මම හැමදේම ගැන හිතන්නේ පොසිටිව් විදිහට. තව කට්ටියව දැකලා මාව මානසිකව වට්ටගන්න පුළුවන්කමක් තිබුණේ නෑ. ඉන්දියාවේ චෙක් කළේ ඊට පස්සේ... ඒත් අවසානයේ මම සිංගප්පූරුවේ යනවා. එගොල්ලෝ කිව්වා, මේක බයවෙන්න කිසිම දෙයක් නෑ. මේක හොඳ කරගන්න පුළුවන් කියලා."
"එන්න එන්න ඇඟ වීක් වෙන්න ගත්තා. හම්බකරපු සියලුම මුදල් සිංගප්පූරුවට වියදම් කරනවා. කොහොමහරි ඒක සීයට සීයක් හොඳයි කියන තැනට ගෙනාවා. මට ඊටපස්සේ හුස්ම හිරවෙන්න ගත්තා. බලනකොට මගේ ශ්වසනාලය පොඩි වෙලා, මොකක් හරි ප්‍රශ්නයක් වෙලා. මට සිංදු කියන්න බැරිවුනා. ඒ කාලේ මට කැස්සක් එනවා. ඒක නවත්තගන්න බැරි කැස්සක්.. ඒ වගේම හුස්ම හිරවෙන්න ගියා.. මේ 2013 හෝ 2014 කාලය වගේ.."
"මට බය හිතුනා ආයෙම බලපෑමක් ඇති වෙයි කියලා.. අසාමාන්‍ය වේදනාවක් දැනෙන්න ගත්තා. මම කැන්සර් හොස්පිට්ල් එකේ යන වෙලාවල් තියනවා, ඒ ළමයි ඒ වේදනාව දරාගන්නේ කොහොමද කියන එක මට ප්‍රශ්නයක්.. අන්තිම දවසේ හොස්පිට්ල් ගියේ අම්මට තාත්තට වැඳලා.. මම දන්නේ එතැනට ගියා, බෙහෙත් එකක් ගැහුවා මතකයි. පස්සෙ ඇහැරුණා. මම දන් නෑ කොයි වෙලාවේ ඇහැරුණාද කියලා. නර්ස් කෙනෙක් ඇවිල්ලා මට කතා කළා, දවස් දෙකකට පස්සෙ... මම කරපු පිනක් නිසා මම නැගිට්ටා කියලා නර්ස් කිව්වා.."
"මට මේ ජීවිතේ ඇති කියලා දෙපාරක්ම ජීවිතේ නැති කරගන්න තැනට ආවා.. ස්ටුඩියෝ එකට ඇවිත් මුකුත් කරන්න බෑ. කරලා කරලා යවන යවන වැඩේ රිජෙට් වුනා. ඩිප්රෙෂන් එකක් ආවම අපි හොයන්නේ මැරෙන්න විදිහක්.. මට බෙල්ලේ වැල දාගන්න අවශ්‍යතාවයක් තිබුනේ නෑ. වස බීම වේදනාවක්. මම ඇත්තම කියන්නම්... මම තනියම ට්‍රැවල් කරපු කාලයක් තිබුනා. පුංචි ලෝකාන්තයෙන් එකපාරක් ඇස් දෙක පියාගෙන පැන්නොත් මැරෙයි කියලා මට හිතුනා. මම තනියෙන් ගියේ. එතකොට ඔලුවට එනවා සෑහෙන දේවල්. මම අම්මට හරි ආදරෙයි... ඉතින් මම ආයේ එනවා. දෙවැනි වතාවේදී මොනා හරි දෙයක් බොනවා කියලා හිතුණා. ඒත් මම අල්ලන් හිටියා.... උත්තරේ මැරෙන එක නෙවෙයි කියලා මට හිතුණා...."
සචිත් විවාහ වුනේ සරල චාම් විදිහට. ඔහුගේ ඒ විවාහය ගැන සමාජ මාධ්‍යයේ බොහෝ දේ පළවුනා ඔබට මතක ඇති. ඒත්... සචිත්ගේ අසනීප තත්ත්වයත් එක්ක ඔහුගේ බිරිඳත් ඔහුව අතහැරලා තිබුණා. ඔහු ඒ ගැන කතා කරන්න කැමති වුනේ නැහැ.
සචිත් අද ඒ හැම වේදනාවක් පරද්දලා "සිංදු කියන්න පුළුවන්" , සචිත් පීරිස් කෙනෙක් බවට පත් වෙලා. තමන්ගේ ජීවිතේ අතිශය පෞද්ගලික කාරණා ප්‍රසිද්ධියේ හෙළි කරන්න අකැමැති වුනු සචිත්, අවසානයට ජීවිතේ එපා වෙලා මැරෙන්න යන අයගෙන් එක ඉල්ලීමක් කරනවා.
"මැරෙන්න එපා... හිතන්නවත් එපා.. අල්ලන් ඉන්න.. අඩුම විනාඩි දහයක්වත්..."