අලව්වේ සහ ඇල්ලේ මාරක රිය අනතුරු - අටදෙනෙකු ජීවිතක්ෂයට
Saturday, 22 August 2020 - 13:06 | Views - 1,164

දිවයිනේ ප්‍රදේශ දෙකක අද පෙරවරුවේ සිදුවූ රිය අනතුරුවලින් පුද්ගලයින් අටදෙනෙකු ජීවිතක්ෂයට පත්වුණා.
අද අලූයම 4.05 ට පමණ කොළඹ - කුරුණෑගල මාර්ගයේ අලව්ව - වළකුඹුර ප්‍රදේශයේදී එක් රිය අනතුරක් සිදුවූ අතර, එහිදී පුද්ගලයින් පස්දෙනෙකු ජීවිතක්ෂයට පත්වුණේ ටිපර් රථයක් සහ මෝටර් රථයක් මුහුණට මුහුණ ගැටීමෙන්.
සිද්ධියෙන් මෝටර් රථයේ ගමන් ගත් සියලූදෙනාම මියගිය බවයි පොලීසිය සඳහන් කළේ.
ඔවුන් වරකාපොල ප්‍රදේශයේ අවමංගල්‍ය උත්සවයකට සහභාගි වී නැවත කුරුණෑගල බලා පැමිණෙමින් සිටියදියි අනතුරට මුහුණ දී ඇත්තේ.
මියගිය පස්දෙනා පෞද්ගලික ඉදිකිරීම් සමාගමක සේවය කරන්නන් වන අතර, මෝටර් රථයේ රියදුරුගේ අපරික්ෂාකාරී රිය ධාවනය අනතුරට හේතුුව ලෙස සැළකෙනවා.
මේ අතර ඇල්ල - වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේදී වෑන් රථයක් ප්‍රපාතයකට පෙරළීමෙන් තවත් රිය අනතුරක් අද උදෑසන සිදුවුණා.
එහිදී පුද්ගලයින් තුන්දෙනෙකු ජීවිතක්්ෂයට පත්වී තවත් තුන්දෙනෙකු තුවාල ලබා රෝහල් ගත කෙරුණා.
ගාල්ල ප්‍රදේශයේ අවමංගල්‍ය උත්සවයකට සහභාගි වී බදුල්ල බලා ගමන් කරමින් සිටි පිරිසක් රැගත් අදාළ වෑන් රථයේ රියදුරුට නින්ද යාම හේතුවෙන් මෙම අනතුර සිදුව තිබෙනවා.
අනතුර සිදුවන අවස්ථාවේදී වෑන් රථය තුළ පුද්ගලයින් හයදෙනෙකු සිට ඇති අතර, එම ස්ථානයේදීම පුද්ගලයින් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බවයි පොලීසිය සඳහන් කළේ.
සිද්ධියෙන් බරපතල තුවාල ලැබූ තුන්දෙනෙකු බදුල්ල මහ රෝහලට සහ වැල්ලවාය රෝහලට ඇතුළත් කර තිබුණා.
අනෙක් පුද්ගලයා වෑන් රථය තුළ සිරවී සිටි අතර, ඔහු මුදාගැනීම සඳහා පොලීසිය සහ ප්‍රදේශවාසීන් කටයුතු කළද, එම පුද්ගලයා ජීවිතක්ෂයට පත්වූ බවයි පොලීසිය සඳහන් කළේ.
Share This Article