විපක්ෂයට පාර්ලිමේන්තුවේ ලැබෙන කාලය ප්‍රශ්නයක් වෙයි
Friday, 21 August 2020 - 13:15 | Views - 920

පාර්ලිමේන්තුවේ වාද විවාදවලදී ආණ්ඩු පක්ෂයට සහ විපක්ෂයට වෙන්කර ඇති කාලවේලාවන් සම්බන්ධයෙන් විපක්ෂය අද කතානායකවරයාගේ අවධානයට යොමු කළා.
කතානායක මහින්ද යාපා අබේවර්ධනගේ ප්‍රධානත්වයෙන් අද පෙරවරුවේ පාර්ලිමේන්තුවේ කටයුතු ආරම්භ වීමෙන් අනතුරුව විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ලක්ෂ්මන් කිරිඇල්ල කියා සිටියේ පාර්ලිමේන්තුවේ වාද විවාද සඳහා විපක්ෂයට වෙන් කෙරෙන වේලාව 60% දක්වා ඉහළ නැංවිය යුතු බවයි.
එසේම, පාර්ලිමේන්තු මන්ත්‍රී සී.වී. විග්නේෂ්වරන් ඊයේ පාර්ලිමේන්තුවේදී සිදුකළ ප්‍රකාශයක් හැන්සාඩ් වාර්තාවෙන් ඉවත් කරන ලෙස මෙහිදී පාර්ලිමේන්තු මන්ත්‍රී මනූෂ නානායක්කාර කතානායකවරයාගෙන් ඉල්ලා සිටියා.
අද දිනයේදී ස්ථාවර නියෝග 27/2 යටතේ උපාධිධාරීන්ට රැකියා ලබාදීමේ වැඩසටහන සම්බන්ධයෙන් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස ආණ්ඩුවට ගැටළුවක්ද යොමු කළා.
මේ අතර, 09 වන පාර්ලිමේන්තුවේ මංගල සැසිවාරය අරඹමින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ඉදිරිපත් කළ නව රජයේ ප්‍රතිපත්ති ප්‍රකාශය සම්බන්ධයෙන් වන විවාදය මේ වනවිට පාර්ලිමේන්තුවේදී පැවැත්වෙනවා.
එය ආරම්භ කරමින් ඊට අදාළ යෝජනාව ඉදිරිපත් කළේ පාර්ලිමේන්තු මන්ත්‍රී නිපුන ආර්. රණවක විසින්.
එසේම, නව වන පාර්ලිමේන්තුවේ පළමු සභා වාරය සඳහා, කතානායක මහින්ද යාපා අබේවර්ධනගේ සභාපතිත්වයෙන් යුතුව සාමාජිකයන් 12 දෙනෙකුගෙන් සමන්විත පාර්ලිමේන්තු තේරීම් කාරක සභාව අද ප්‍රකාශයට පත් කෙරුණා.
ඒ අනුව අමාත්‍යවරුන් වන නිමල් සිරිපාල ද සිල්වා, දිනේෂ් ගුණවර්ධන, ජොන්ස්ටන් ප්‍රනාන්දු, ඩග්ලස් දේවානන්දා, ඩලස් අලහප්පෙරුම, විමල් වීරවංශ සහ ප්‍රසන්න රණතුංග එහි සාමාජිකත්වය දරනවා.
ඊට අමතරව විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ලක්ෂ්මන් කිරිඇල්ල සහ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන ගයන්ත කරුණාතිලක, රවුෆ් හකීම්, විජිත හේරත් සහ සෙල්වම් අඩෙක්කලනාදන්ද මෙම පාර්ලිමේන්තු තේරීම් කාරක සභාව සඳහා පත්කර ඇති බවයි පාර්ලිමේන්තුවේ සන්නිවේදන දෙපාර්තමේන්තුව නිවේදනය කළේ.
Share This Article