දේශපාලන කොමිසමට වැරදී පැමිණි රාජිත හරවා යවයි
Friday, 21 August 2020 - 12:41 | Views - 1,358

හිටපු අමාත්‍යවරුන් මංගල සමරවීර, මලික් සමරවික්‍රම සහ පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.ඒ. සුමන්දිරන් අද, දේශපාලන පළිගැනීම් පිළිබඳ සොයාබැලෙන ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාවට පැමිණියා.
ඒ ආර්ථික සංවර්ධන අමාත්‍යාංශයේ හිටපු ලේකම් වෛද්‍ය නිහාල් ජයතිලක කොමිසමට සිදුකළ පැමිණිල්ලකට අදාළව සාක්ෂි ලබාදීම සදහායි.
මේ අනුව ඔවුන් පෙරවරු 10 ට පමණ කොමිසම හමුවේ පෙනී සිටි බවයි එහි සිටින හිරු වාර්තාකරු සඳහන් කළේ.
එසේම එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහට ලබන මස 4 වනදා මෙම කොමිෂන් සභාව හමුවේ පෙනී සිටින ලෙස නොතීසි නිකුත් කර ඇති අතර, හිටපු අමාත්‍යවරුන් වන ෆීල්ඞ් මාර්ෂල් සරත් ෆොන්සේකා, රවුෆ් හකීම්, දෙමළ ජාතික සන්ධානයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී ආර්. සම්බන්ධන් සහ කමිටු ලේකම් ආනන්ද විජේපාල යන අයට ලබන මස 9 වනදා හෝ 11 වනදා කොමිසම හමුවේ පෙනී සිටින ලෙස දන්වමින් එම කොමිසම අද යළි නොතිසි නිකුත් කරනු ලැබුවා.
සාක්ෂි ලබාදීම සඳහා මොවුන් අද කොමිසම හමුවට පැමිණ නොසිටි බැවින් කොමිසන් සභා පනතේ 16 වන වගන්තිය යටතේ මෙම නොතීසි නිකුත් කිරීම සිදුකළ බවයි දේශපාලන පළිගැනීම් පිළිබඳ විමර්ශනය කෙරෙන ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාවේ උසස් නිලධාරියෙකු සඳහන් කළේ.
මේ අතර මෙම කොමිසන් සභාව හමුවේ ප්‍රකාශයක් ලබාදීම සඳහා හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න වැරදීමකින් එම කොමිසම වෙත අද පැමිණ සිටි බවද අප වාර්තාකරු සඳහන් කළා.
පසුව ඔහු හරවා යැවීමටයි කොමිසන් සභාවේ නිලධාරීන් කටයුතු කර ඇත්තේ.
Share This Article