සිංහරාජය ගැන කතා වූ, මාර්ගය ඉල්ලා, ලංකාගම ප්‍රදේශවාසීන් විරෝධතාවක
Thursday, 20 August 2020 - 13:17 | Views - 450
ගාල්ල - නෙළුව සිට ලංකාගම දක්වා දිවෙන කිලෝමීටර් 18 ක මාර්ගය සැලසුම් කර ඇති පරිදි සංවර්ධනය කරදෙන ලෙස ඉල්ලමින් නෙළුව - ලංකාගම ප්‍රදේශවාසීන් අද විරෝධතාවක නිරත වුණා.
මෙම මාර්ග ව්‍යාපෘතිය හේතුවෙන් සිංහරාජ වනාන්තරයට හානි සිදුවන බව පවසමින් සමාජ මාධ්‍ය ජාලාවල පසුගියදා විවිධ ප්‍රචාර පළ වූ අතර, මහාමාර්ග අමාත්‍යාංශය පසුව නිවේදනය කළේ මාර්ගයේ සංවේදී පරිසර කලාපය තුළ පිහිටි කිලෝමීටර් 1.1ක කොටසේ කිසිදු ඉදිකිරීමක් සිදුකර නොමැති බවයි.
එසේම, එවැනි කටයුත්තක් ඉදිරියේදී හෝ සිදු නොකරන බවද මහාමාර්ග අමාත්‍යාංශය සඳහන් කළා.
ගම්වාසීන් කරන ලද ඉල්ලීම පරිදි මෙම මාර්ගය සංවර්ධනය කිරීමට කටයුතු යොදා ඇති බවත්, පරිසරයට හානිවන පරිදි මෙම මාර්ගය තැනීම සිදු නොකරන ලෙසට ජනාධිපතිවරයා වනජීවි හා වනසම්පත් අමාත්‍යවරයාට උපදෙස් ලබාදී ඇති බවත් මහාමාර්ග අමාත්‍යාංශය නිකුත් කළ නිවේදනයේ සඳහන්.
කෙසේ වෙතත්, ලංකාගම ප්‍රදේශවාසීන් අද විරෝධතාවයේ නිරත වෙමින් චෝදනා කළේ රාජ්‍ය නොවන සංවිධාන කිහිපයක අවශ්‍යතාව මත මාර්ගය සංවර්ධනය කිරීම සම්බන්ධයෙන් අසත්‍ය ප්‍රචාර සිදුකෙරෙන බවයි.
Share This Article