මහා පරිමාණයෙන් කොරෝනා එන්නත් නිපදවන බව මෝදි කියයි
Wednesday, 19 August 2020 - 10:49 | Views - 1,098
විද්‍යාඥයන්ගේ අවසරය ලද විගස ‘කොවිඩ්-19’ එන්නත මහ පරිමාණයෙන් නිෂ්පාදනය කිරීම ආරම්භ කරන බව ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි නවදිල්ලියේදී ප්‍රකාශ කළේය.

සෑම පුරවැසියකුටම හැකි ඉක්මනින් එම එන්නත ලබාදීම සඳහා මෙන්ම ඉන්දියාවේ සෑම පුරවැසියකුටම සෞඛ්‍ය හැඳුනුම්පතක් ලබාදීම සඳහා ජාතික වැඩසටහනක් ආරම්භ කරන බව ද ඉන්දීය අග්‍රාමාත්‍යවරයා පැවැසීය.

ඉන්දියාවේ 74 වැනි නිදහස් දින උත්සවය වෙනුවෙන් 17 වැනි සියවසට අයත් නවදිල්ලියේ රතු බළකොටුවේදී ඉන්දීය අග්‍රාමාත්‍යවරයා ඒ බව කීවේය. සිය රට තුළ ශක්තිමත් සහ කිසිවකු මත යැපීමට අවශ්‍ය නොවන සෞඛ්‍ය සහ ආර්ථික පද්ධතියක් නිර්මාණය කරන බව ද ඉන්දීය අග්‍රාමාත්‍යවරයා කීවේය. සිය ආණ්ඩුව ප්‍රමුඛත්වය දී කටයුතු කරන්නේ ඒ සඳහා බව ද ඔහු කීය.

ඉන්දියාවේ නවදිල්ලි නුවර ඉකුත් දා (15) පැවැති නිදහස් දින උත්සවය අමතමින් අග්‍රාමාත්‍ය මෝදි එම කරුණු සඳහන් කළේය.  

‘‘එකක් නෙමෙයි, දෙකක් නෙමෙයි, ඉන්දියාව තුළ කොරෝනා වයිරස එන්නත් තුනක් පරීක්ෂාවට ලක්වෙමින් තිබෙනවා’’ යැයි ඉන්දීය අග්‍රාමාත්‍යවරයා කීවේය.

‘‘විද්‍යාඥයන්ගේ අවසරය ලැබුණු විගස අපි මහ පරිමාණයෙන් එන්නත් නිෂ්පාදනය ආරම්භ කරනවා. ඒ වගේම සෑම ඉන්දීය ජාතිකයකුටම අඩුම කාලයක් තුළ එන්නත් ලබාදීම සඳහා සැලැස්මක් ද සකස් කරනවා’’ හෙතෙම කීය.

මෙවර නිදහස් දින කතාව ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිගේ හත්වැනි නිදහස් දින කතාව ද වේ. නව කොරෝනා වයිරසය පාලනය කිරීම සඳහා පනවා තිබෙන සීමා හේතුවෙන් ඉන්දීය නිදහස් දින උත්සවයට ‌මෙවර සහභාගී කරවාගෙන තිබුණේ අමුත්තන් 4,000කට ආසන්න පිරිසකි. එම සීමා හේතුවෙන් ඔවුන්ට අසුන් පනවා තිබුණේ ද මීටර දෙකක් ඈතිනි.

ඉන්දීය හමුදා නිලධරයන් හා සෙබළුන්, නිදහස් දින උත්සවයට පැමිණි අග්‍රාමාත්‍ය මෝදි පිළිගත් අතර ඔවුන් දින ගණනාවක් නිරෝධායනයට යොමු කර තිබිණි.

නිදහස් දින උත්සවයට පැමිණි අයකු ‘කොවිඩ්-19’ රෝග ලක්ෂණ පෙන්නුම් කළහොත් ඒ සඳහා වෛද්‍ය කුටි සහ ගිලන් රථ ද සූදානම් කර තිබිණි.

ඉන්දියාවේ ජනගහනය බිලියන 1.3ක් වන අතර ඔවුන් වෙනුවෙන් ජාතික ඩිජිටල් සෞඛ්‍ය මෙහෙයුමක් ක්‍රියාත්මක කරන බව ද අග්‍රාමාත්‍යවරයා නිදහස් දින උත්සවයේදී කීය. එම වැඩසටහනේ ආරම්භය නිදහස් දින උත්සවයට සමගාමීව සිදු කෙරුණි. සෑම සෞඛ්‍ය පරීක්ෂණයකම දත්ත, රෝග, ප්‍රතිකාර සහ අනෙකුත් විස්තර සෞඛ්‍ය හැඳුනුම්පතට ඇතුළත් කරන බවද ඉන්දීය අග්‍රාමාත්‍යවරයා කීවේය.

‘‘වෛද්‍යවරයකු සඳහා කාලය වෙන් කරවාගැනීමක්, නැතිනම් මුදල් වෙන් කිරීමක් එහෙමත් නැතිනම් රෝහලකින් අවශ්‍ය ලිපි ලේඛන ලබාගැනීමක් ද මේ සියලු ප්‍රශ්නවලට අභියෝගවලට මුහුණ දීම සඳහා අපි මේ ක්‍රමවේදය භාවිත කරනවා’’ හෙතෙම කීය.

ඉන්දියාවේ ආර්ථිකය සම්බන්ධයෙන් ද අග්‍රාමාත්‍යවරයා මෙහිදි වැඩි අවධානයක් යොමු කළේය. ඉන්දියාවේ ආර්ථිකය ජාත්‍යන්තර තුළ කරන බලපෑම වැඩි කළ යුතු යැයි ද ඔහු කීය.ආනයනය සීමා කරමින් අගය එකතු කළ නිෂ්පාදන අපනයන වැඩි කිරීමේ අවශ්‍යතාව ද හෙතෙම මෙහිදි අවධාරණය කළේය.

ඉන්දියාවේ යටිතල පහසුකම් වර්ධනය කරන බව ද ඉන්දීය අග්‍රාමාත්‍යවරයා නිදහස් දින උත්සවයේදී අවධාරණය කළේය. එය මෝදි මැතිවරණයේදී දුන් පොරොන්දුවකි. එම පොරොන්දුව ඉටු කරමින් ඉන්දීය රුපියල් ට්‍රිලියන 110ක් (ඇමෙරිකානු ඩොලර් ට්‍රිලියන 1.47) වියදම් කරමින් යටිතල පහසුකම් සංවර්ධනය කිරීමේ ව්‍යාපෘති 7000ක් ක්‍රියාත්මක කරන බවත් ඒ මගින් නව රැකියා නිර්මාණය වන බවත් කුඩා ව්‍යාපාර නගා සිටුවන බවත් හෙතෙම කීය. එය ආර්ථිකය ශක්තිමත් කිරීමට උපකාරී වනු ඇතැයි ද ඉන්දීය අග්‍රාමාත්‍යවරයා වැඩිදුරටත් කීවේය.

 

රොයිටර්



 
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top