සහරාන්ට, ඉන්දියාවට පළා යෑමට රිෆ්කාන් බදියුදීන් සහය දුන් බව රාජ්‍ය බුද්ධි සේවය දැන සිටි බව හෙළිවේ (වීඩියෝ)
වරෙන්තු නිකුත් කර තිබියදී අධිකරණය මඟ හරිමින් සිටි සහරාන් හෂිම්ට මන්නාරමේ සිට බෝට්ටුවකින් ඉන්දියාවට පළා යාමට හිටපු අමාත්‍ය රිෂාඩ් බදියුදින්ගේ සොහොයුරු රිෆ්කාන් බදියුදින් උපකාර කළ බව පාස්කු ප්‍රහාරයට පෙර රාජ්‍ය බුද්ධි සේවය ද දැන සිටියේ යැයි එහි හිටපු අධ්යක්ෂ නිලන්ත ජයවර්ධන ප්‍රකාශ කළා.
ඒ පාස්කු ප්‍රහාරය පිළිබඳ විමර්ශනය කරන ජනාධිපති කොමිසම හමුවේ අද (18) සාක්ෂි ලබා දුන් අවස්ථාවේදීයි.
ඔහු ජනාධිපති කොමිසම හමුවේ අද සාක්ෂි ලබා දුන්නේ 13 වන දිනටයි.
ඊයේ (17) සාක්ෂි ලබාදුන් අවස්ථාවේ පසුගිය වසරේ අප්‍රේල් 04 වනදා තමන්ට අදාළ බුද්ධි තොරතුර පළමුව ලැබුණු බව සඳහන් කළ ඔහු එය අප්‍රේල් හත්වනදා එවක පොලිස්පති පූජිත් ජයසුන්දරට පැවසූ බව ප්‍රකාශ කළා.
මේ අතර, හිටපු ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය රුවන් විජේවර්ධනද පාස්කු ප්‍රහාරය පිළිබඳ විමර්ශනය කරන ජනාධිපති කොමිසමේ පොලිස් විමර්ශන ඒකකයේ අද (18) පෙනී සිටි අතර ඔහුගෙන් පැය 5කට අධික කාලයක් ප්‍රකාශ සටහන් කර ගැණුනා.
එමෙන්ම, දැනට රක්ෂිත බන්ධනාගාරගත කර සිටින අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්යක්ෂ ශානි අබේසේකරද කොමිසමේ පොලිස් විමර්ශන ඒකකය හමුවේ අද (18) පෙනී සිටියා.