16 හැවිරිදි සචින්තව නොඑන ගමන් යවමින්, තවත් සිසුන් පිරිසකට බරපතල තුවාල සිදු කළ, සුපිරි කැබ් රථය පැදවූ බීමත් රියදුරා සියල්ල වමාරයි
Tuesday, 18 August 2020 - 15:37 | Views - 836
දෙහිඅත්තකණ්ඩිය දොළවත්ත ගම්මානයේ පසුගිය දිනෙක අවමංගල්‍යයක් තිබුණා. මිය ගොස් සිටි අය මොණරාගල, දඹගොල්ල ප්‍රදේශයේ පදිංචි රන්හොට් බණ්ඩාරලාගේ විමලසේන යන අයගේ ඥාතීයෙක්. එනම් ඔහුගේ වැඩිමහල් සහෝදරියගේ සැමියායි. මොහුට නෑ කමින් ඔහු මස්සිනා යි.
 
විමලසිරි හිටපු යුද හමුදා සෙබළෙක්. වයස අවුරුදු හතළිස් හතක් වන මොහු සේවයෙන් විශ්‍රාම ලබා පෞද්ගලික ව්‍යාපාරයක නිරත වනවා. විවාහකයෙකු වන මොහු දරුවන් කිහිප දෙනෙකුගේ පියෙක්.
 
තම වැඩිමහල් සහෝදරිය ගේ සැමියා මිය යාම විමලසිරියට ඉහිලුම් දුන්නේ නැහැ. ඔහුට හොඳ හැටි වෙරි වනතුරු මත්පැන් පානය යුතු තරමේ මානසිකත්වයක් ඇති කළා. එබැවින් ඔහු මත් වතුරින් දුක දරාගත්තා.

ලොකු මස්සිනාගේ හත් දවසේ බණ යෙදී තිබුණේ පසුගිය අට වැනිදා රාත්‍රීයේ යි. එදින ද අවමංගල්‍යය සිදු වූ දිනවලදී මෙන් මොහු සිය ටාටා කැබ් රථයෙන් අරලගංවිල බලා පිටත් වන්නේ සිය බිරිය දරුවන් ඥාතින් පිරිවරාගෙනයි.
 
එදින අක්කාගේ නිවසට ගිය වේලාවේ සිට වැඩවල නිරත වූ මොහු අනෙක් පුරුෂ පක්ෂයද වෙහෙස නිවා ගත්තෙත්, නිදමත නැති කර ගත්තෙත් මත්පැන් පානය කරමිනුයි.
 
පිරිස ආපහු එන්නට පිටත් වූයේ වෙලාව සවස තුන පසුවූ තැනයි.
 
වාහනයේ ඉදිරි අසුනට ගොඩ වූයේ හැට අට හැවිරිදි මොහුගේ මවයි. ආබාධිත ඇය කිහිලිකරුවලින් ගමන් කරන්නියක්.
 
පිටුපසට ගොඩ වූ පිරිස නවයක්.
 
අවුරුදු විස්ස, විසිදෙක මෙන්ම හත අට වයස් ඛාණ්ඩවලට අයත් මොවුන් කාන්තාවන් හා දරුවන්ගෙන් සමන්විත වුනා.
 
මෙවර සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටින පොළොන්නරුව රාජකීය විද්‍යාලයේ ඉගැනුම ලබන පිරිමි දරුවන් පිරිසක් අරලගංවිල පිහිටි ටියුෂන් පන්තියට සහභාගී වී ඉන් පිටත්ව යන්නට සුදානම් වුනා.
 
සිසුන් වම් පසින් ඉදිරියට ඇදුණා. අරලගංවිල, රත්මල් තැන්න, අංක 14 ඒ. එච්. කොටසේ පදිංචි සචින්ත හේෂාන් සිසුවාද මේ අතර සිටියා. ඔහු නිවසට යාමට මහමඟට පිවිසියේ 11 දෙනෙකුගේ සමන්විත මිතුරු කැලක් ද සමඟයි.
 
ඔවුන්ද වම් පසින්ම ඉදිරිය බලා ගමන් කරන්නට වූ අතර වේලාව හවස තුනක් විස්ස පමණ වෙද්දි විමලසේන පැදවූ කැබ් රථය එහි ළඟා වෙමින් පැවතුණා.
 
පාරේ වැරදි පස ගමන් කළ ද සචින්ත ඇතුළු මිතුරන් සිටියේ මාර්ගයේ සීමා ගැට්ටෙන් ඇතුළට වන්නටයි.
 
වේලාව හවස තුන පසුවී විසිතුනක් වෙද්දි ක්ෂණයෙන් විමලසේන පැදවූ කැබ් රථය මාර්ගය අයිනේ සිටි දරුවන් එකොළොස් දෙනා යට කරගෙන ඉදිරියට ඇදුනේ සිදුවන්නේ කුමක්දැයි සිතාගන්නටවත් ඉඩ නොදී. එනම් තප්පරයක් දෙකක් වැනි කාලයකදී මේ කැබ් රථය දරුවන් යට කරගෙන වේගයෙන් ඇදී ගියා.
 
අවට සිටි පිරිස් දරුවන් රෝහල්ගත කළ අතර පිරිසක් මේ බව පොලිසියට දැනුම් දුන්නා.
 
පොලිසිය පැමිණ විනාඩි පහක් පමණ ගත වෙද්දි ඒ ආසන්නයේ සැඟව සිටි රියදුරු ඇතුළු පවුලේ අය සෙමෙන් සෙමෙන් එළියට එන්නට වුනා. පොලිස් නිලධාරින් අසළට ආ රියදුරු වේවලන දෙතොල් බියගුලු ලෙස විවර කරමින් සමාව අයදින්නට වුනා.
 
මොහුගේ හැසිරීම් රටාව අසාමාන්‍ය වුනා. මේ වෙව්ලන ස්වභාවය ආරූඨ වී ඇත්තේ බියටත් වඩා වෙනත් යමක් මුල් කරගෙන බවයි පොලිසියට වැටහුනේ.
 
"පොඩ්ඩක් ළඟට එනවා.."
 
එලෙස ඔහු අසළට කැඳවා මුහුණට ළංවී බැලුවිට පොලිස් නිලධාරියාට ඔහුගෙන් මත් වතුර ගඳක් දැනෙන්නට වුනා.
 
"තමුසේ බීලා නේද?"
 
ඔහු නිරුත්තර වුනා. කැබ් රථයේ සිටි පිරිස ද ගල් ගැසී බලා සිටියා.
 
"ඔව් සර්.. මම ටිකක් බීලා හිටියේ. මගේ අක්කාගේ මහත්තයාගේ හත් දවසේ පින්කමට ගිහින් ඊයේ මුළු රෑම නිදි මරුවා. අද දානේ වැඩ ඉවර වෙලා ඇඟේ පතේ අමාරුව යන්නත් එක්ක චුට්ටක් ගත්තා. මට අතරමඟදී නින්ද ගියා සර්.."
 
වෛද්‍ය පරීක්ෂණයේදී ද ඔහු බීමත් බවට තහවුරු වුනා.
 
මේ බේබදු රියදුරාගේ කැබ් රියට දරුවන් 11 දෙනෙක් යට වී තිබුණා. ඉන් සමහරු වාහනයේ වැදී පාරට විසී වී තිබූ අතර තවත් අය කාණුවට වැටී තිබුණා. ඒ අයුරින් සියල්ලෝම තුවාල ලැබූ අතර බරපතල තුවාල ලබා සිටි කිහිප දෙනා අතරින් සචින්ත මිය යන්නේ රිය අනතුරකින් ආකාලයේ දිවියෙන් සමුගත් මහා මිනිස් කන්දරාවට සිය නාමය ද එක් කරමිනුයි.
 
ඉගැනුමට හපනකු වූ ඔහු ලකුණූ 179 ක් ගෙන ශිෂ්‍යත්ව විභාගයද සමත් වුනා. පොළොන්නරුව රාජකීය විද්‍යාලයට ඇතුළත් වන ඔහු සාමාන්‍ය පෙළ හදාරන්නේ ඉංග්‍රීසි මාධ්‍යයෙන්. මේ වසරේ සාමාන්‍ය පෙළට පෙනී සිටීමට නියමිත වූ ඔහුගේ එකම බලාපොරොත්තුව වී තිබුණේ විද්‍යා අංශයෙන් උසස් පෙළ හදාරා වෛද්‍යවරයෙකු වීමයි.
 
"මගේ පුතා ටියුෂන් ගියාම එයාව එක්ක එන්න තාත්තා යනවා. අද (09) පන්ති යන්න ලෑස්ති වෙලා පුතා කිව්වා මම අද බස් එකේ එන්නම්. තාත්තා ගෙදර තියෙන වැඩක් කරගන්න කියලා. ඒක නිසා එයා පුතාව ගේන්න ගියේ නෑ.."
 
"පන්ති ඇරියා ළමයි පාර අයිනෙන් එනකොට බීමත් රියදුරෙක් එළවගෙන ආපු කැබ් එකක් පුතාලව යට කරගෙන ගියා කියලා ආරංචිය අපිට ලැබුණා. මගේ පුතා ගමේ හිටිය අහිංසකම පිරිමි දරුවා කියලා ගමේත් ඉස්කෝලෙත් හැමෝම දන්නවා.."
 
"අපේ ගෙදර කවදාවත් මත්පැත් දුම්වැටි භාවිතයක් නෑ. අපේ පුතාගේ බලාපොරොත්තු ඉෂ්ඨ කරන්න අපි දෙන්නා ලොකු කැපවීම් කළා...."
 
"අද රත්මල්තැන්න එකම මළ ගෙයක්. මගේ පුතා යන්නම ගිහින්. අනෙක් දරුවන්ගේ අතපය කැඩියා විනාශ වෙලාම ගිහින්. මේ කාලකන්නි බේබදු රියදුරා අනෙක් දරුවන්ගේ අතපය කඩලා මගේ පුතාගේ ජීවිතෙත් උදුරගත්තා. අපේ ගෙදර තිබුණ එකම සතුට සම්පත ඒ කාළකණ්ණියා උදුරගත්තා.."
 
සචින්තගේ මව වන අනෝමා කුමාරි හඬා වැටෙමින් එලෙස පැවසුවා.
 
"පොඩ්ඩක්වත් හිතුවක්කාර නැති මගේ ළමයා තාත්තා සැර කළත් චූටි දේකට ගැහුවත් හිනා වෙනවා. කවදාහරි වෛද්‍යවරයෙක් වෙනවා කිව්ව පුතා අද පෙට්ටියකින් ගෙදර ඇවිත්.."
 
දරුවන් 11 දෙනෙකු යට කොට එක් දරුවෙකු මරා තවත් හතරක බරපතල තුවාල සිදු කළ මේ බේබදු රියදුරා දැන් බන්ධනාගාරයේ යි. ඔහුට මිනී මැරිමට තැත් කිරීම හා මිනිමැරීම යන චෝදනා යටතේ නඩු ගොනු කර තිබෙනවා.
 
"තක්ෂිලා ජයසේකර" විසින් "මාංචු" පුවත්පතට ලියූ ලිපියක් ඇසුරින් සකස් කෙරිණ.
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top