විදුලි සැපයුම සම්පූර්ණයෙන් යථා තත්ත්වයට - හේතු සොයන කමිටුව අද රැස්වේ
Tuesday, 18 August 2020 - 8:12 | Views - 329

සම්ප්‍රේෂණ පද්ධතියේ දෝෂයක් හේතුවෙන් මුළු දිවයිනටම විසන්ධි වූ විදුලිබල සැපයුම මේ වන විට මුළුමනින්ම යථා තත්ත්වයට පත් කර ඇති බව ලංකා විදුලිබල මණ්ඩලයේ සභාපති විජිත හේරත් ප්‍රකාශ කළා.
ඔහු කියා සිටියේ කොළඹ, ගම්පහ, කුරුණෑගල සහ දකුණු පළාතේ ප්‍රදේශ රැසකට ඊයේ රාත්‍රී 8 පමණ වන විටම විදුලි සැපයුම ලබාදුන් බවයි.
අනෙකුත් පළාත්වලට රාත්‍රී 10 වන විට විදුලි සැපයුම ලබාදුන් බව ද ඔහු සඳහන් කළා.
සම්ප්‍රේෂණ පද්ධතියේ දෝෂයක් නිසා ඊයේ දහවල් 12.35 පමණ මුළු දිවයිනේම විදුලි සැපයුම විසන්ධි වුණා.
විදුලිය සැපයීමට බාධා එල්ල වීම හේතුවෙන් විදුලි සංඥා පුවරු ක්‍රියාත්මක නොවීම නිසා කොළඹ නගරය ඇතුළු තදාසන්න ප්‍රදේශවල මාර්ග රැසක රථ වාහන තදබදයක් ද හට ගත්තා.
එසේම විදුලිය විසන්ධි වීම හේතුවෙන් බාධා එල්ල වූ ජල සැපයුමට ද මේ වන විට යථා තත්ත්වයට පත් කර ඇති බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය කියා සිටියා.
මේ අතර, දිවයින පුරා විදුලිය විසන්ධිවීම සම්බන්ධයෙන් සොයා බැලීම සඳහා පත් කළ කමිටුව අද පෙරවරුවේ විදුලිබල අමාත්‍යාංශයේදී රැස්වනවා.
විෂය භාර අමාත්‍ය ඩලස් අලහප්පෙරුමගේ උපදෙස් මත ඊයේ පත් කළ මෙම කමිටුවේ සභාපතිවරයා ලෙස මහාචාර්ය රාහුල අතුලගේ කටයුතු කරන අතර ඊට සාමාජිකයින් 9 දෙනෙකු ඇතුළත්.
අදාළ කමිටුවේ වාර්තාව සතියක් ඇතුළත අමාත්‍යවරයා වෙත ලබාදිය යුතුයි.
Share This Article