අයවැයට පෙර අතුරු සම්මත ගිණුමක් - යෝජනාව බදාදා කැබිනට්ටුවට
Monday, 17 August 2020 - 12:47 | Views - 203

වසරේ ඉදිරි කාර්තුව සඳහා අතුරු සම්මත ගිණුමක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට රජය සූදානම් වනවා.
ඒ, ඉදිරි මාස කිහිපයේ රජයේ අත්‍යාවශ්‍ය වියදම් පියවා ගැනීම සඳහායි.
ඉන් අනතුරුව දෙසැම්බර් මාසයේදී 2021 වසර සඳහා වන නව අයවැය ලේඛනය ඉදිරිපත් කිරීමට සැළසුම් කර ඇති බවයි ජනමාධ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල සඳහන් කළේ.
මෙම අතුරු සම්මත ගිණුම පළමුව අනුමැතිය සඳහා අනිද්දා පැවැත්වෙන නව රජයේ මංගල අමාත්‍ය මණ්ඩල රැස්වීමට ඉදිරිපත් කිරීමට නියමිතයි.
ඉන් පසුවයි එය පාර්ලිමේන්තුවට යොමු කෙරෙන්නේ.
මුදල් අමාත්‍යාංශ ආරංචි මාර්ග සඳහන් කළේ රුපියල් බිලියන දහසකට ආසන්න වටිනාකමකින් යුත් අතුරු සම්මත ගිණුමක් ඉදිරිපත් කරනු ඇති බවයි.
2019 සහ 2020 වසරවල හිඟ බිල්පත් පියවීමද මෙම අතුරු සම්මත ගිණුමේ ප්‍රධාන අරමුණක්.
කෙසේ වෙතත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් නව පාර්ලිමේන්තුවක් පත්වී මාස තුනක කාලසීමාවක් ගතවනතුරු අවශ්‍ය නම් රජයේ අත්‍යාවශ්‍ය වියදම් පියවාගැනීම සඳහා මුදල් ප්‍රතිපාදන සළසා ගැනීමේ බලය ජනාධිපතිවරයා වෙත ලබාදී තිබෙනවා.
මේ අතර අනිද්දා පැවැත්වෙන මංගල කැබිනට් මණ්ඩල හමුවේදී අතුරු සම්මත ගිණුම මෙන්ම විසිවන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පතද අනුමැතිය සඳහා ඉදිරිපත් කිරීමට නියමිතයි.
Share This Article