මැතිසබයේ පළමු සැසිය ඇරඹීමේදී හමුදා උත්තමාචාර, අශ්වාරෝහක පෙළපාලි නැහැ
Monday, 17 August 2020 - 8:31 | Views - 648

පාර්ලිමේන්තුවේ පළමු සැසිවාරය ආරම්භ කිරීමේදී මින් පෙර පැවති ආකාරයේ සැමරුම් කිසිවක් සිදු නොකරන ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ පාර්ලිමේන්තු නිලධාරීන්ට උපදෙස් ලබා දී තිබෙනවා.
ඒ අනුව ලබන 20 වනදා පැවැත්වෙන 09 වන පාර්ලිමේන්තුවේ පළමු සැසිවාරය ආරම්භයේදී පෙර පැවති ආකාරයට හමුදා උත්තමාචාර සහ අශ්වාරෝහක පෙළපාලි නොපැවැත්වෙන බවයි වාර්තාවන්නේ.
පාර්ලිමේන්තුවේ පළමු සැසිවාරයට සහභාගිවන ජනාධිපතිවරයා පිළිගැනීම සඳහා ජයමංගල ගාථා ගායනා කිරීම පමණක් සිදුකිරීමට නියමිතයි.
09 වන පාර්ලිමේන්තුවේ පළමු සැසිවාරය ලබන 20 වනදා උදෑසන 9.30 ට පැවැත්වෙන අතර, එහිදී පළමුව කතානායකවරයා තෝරා පත් කරගැනීම සිදු කෙරෙනවා.
ඉන් පසුව මන්ත්‍රීවරුන් දිවුරුම්දීම සහ ප්‍රතිඥා දීම සිදු කෙරෙනු ඇති.
අනතුරුව නියෝජ්‍ය කථානායකවරයා සහ නියෝජ්‍ය කාරක සභා සභාපතිවරයා පත් කරගැනෙන අතර, පසුව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ පාර්ලිමේන්තුවට පැමිණෙනු ඇති.
කථානායකවරයා සහ පාර්ලිමේන්තු මහ ලේකම් ධම්මික දසනායක පාර්ලිමේන්තු ගොඩනැගිල්ලේ ප්‍රධාන පියගැටපෙල අසළදී ජනාධිපතිවරයා පිළිගැනෙන අතර, වේත්‍රධාරී, නියෝජ්‍ය වේත්‍රධාරී සහ සහකාර වේත්‍රධාරීන් පෙරටුකරගත් කථානායකවරයා සහ පාර්ලිමේන්තු මහ ලේකම්වරයා විසින් ජනාධිපතිවරයා පාර්ලිමේන්තුවේ මූලාසනය වෙත කැඳවාගෙන යාමට නියමිතයි.
ජනාධිපතිවරයා මුලසුනේ සිට පස්වරු තුනට නව රජයේ ප්‍රතිපත්ති ප්‍රකාශය ඉදිරිපත් කරනු ඇති.
Share This Article