අපේ ජනබල පක්ෂයේ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරය පිළිබඳව නීතිපතිවරයාගේ උපදෙස් ලබා ගැනීමට යයි
Tuesday, 11 August 2020 - 8:44 | Views - 565

දැනට අර්බුදයක් වී ඇති අපේ ජනබල පක්ෂයේ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරය පිළිබදව නීතිපතිවරයාගේ උපදෙස් ලබා ගැනීමට මැතිවරණ කොමිෂන් සභාව තීරණය කර තිබෙනවා.
අපේ ජන බල පක්ෂයට හිමි ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරය සඳහා තමන්ව පත් කරන ලෙස එහි ලේකම් පූජ්‍ය වේදිනිගම විමලතිස්ස හිමියන් මැතිවරණ කොමිෂන් සභාවට ලිපියක් මගින් දැනුම් දුන්නා.
ඉන් අනතුරුව උන්වහන්සේ ප්‍රසිද්ධියේ පෙනී නොසිටින අතර, පක්ෂයේ අනෙකුත් නිළ දරන්නන් පවා උන්වහන්සේ සිටින ස්ථානයක් තොරතුරු අනාවරණ කරගෙන තිබුණේ නැහැ.
කෙසේ වෙතත්, පසුව අපේ ජන බල පක්ෂය මාධ්‍ය හමුවක් කැඳවමින් සඳහන් කළේ උන්වහන්සේ තම පක්ෂයෙන් ඉවත් කර වෙනත් ලේකම්වරයෙකු පත් කර ඇති අතර ඒ හරහා පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් ජාතික ලැයිස්තුවෙන් තෝරා පත් කර ගන්නා ලෙස මැතිවරණ කොමිසමට දැනුම් දී ඇති බවයි.
කෙසේ වෙතත්, ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් කුරුණෑගල දිස්ත්‍රික්කය සඳහා නාම යෝජනා භාර දුන්න ද එය ප්‍රතික්ෂේප වුණා.
එසේම උන්වහන්සේගේ නම අපේ ජන බල පක්ෂයේ ජාතික ලැයිස්තු අපේ්ක්ෂක නාමාවලියේ ද සඳහන් වන්නේ නැහැ.
එවන් පසුබිමක උන්වහන්සේ පාර්ලිමේන්තුවට තේරී පත්විය යුත්තේ අපේ ජන බල පක්ෂයෙන් ජාතික ලැයිස්තුවට හෝ කිසියම් දිස්ත්‍රික්කයක අපේක්ෂක ලැයිස්තුවට නම් ඇතුළත් වූ අයෙකු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙස දිවුරුම් දීමෙන් පසුව ඉල්ලා අස්වී එම පුරප්පාඩුව සඳහා යම් අපේක්ෂකයෙකු නම් කිරීමේදී පමණයි.
එම අපේක්ෂක ධුරය සඳහා පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ගේ නම යෝජනා කළ හැකි බවටයි දැනට පවතින නීතිමය පසුබිම වන්නේ.
එවන් තත්ත්වයක් තුළ අදාළ ගැටළුව නිරාකරණය කර ගැනීම සඳහා නීතිපතිවරයාගේ උපදෙස් ලබා ගැනීමට බලාපොරොත්තු වන බවයි මැතිවරණ කොමිසම සඳහන් කළේ.
එමෙන්ම, ජාතික ජන බලවේගය යටතේ පාර්ලිමේන්තුවට තේරී පත්වන ජාතික ලැයිස්තු මන්ත්‍රීවරයා කවුරුන් ද යන්න පිළිබදව අද දිනය තුළ ප්‍රකාශයට පත් කරන බව එම පක්ෂයේ ලේකම් ලක්ෂ්මන් නිපුනආරච්චි ප්‍රකාශ කළා.
කෙසේ වෙතත්, පැවති මහ මැතිවරණයෙන් පරාජයට පත්වූ කිසිදු අපේක්ෂකයෙකු ජාතික ජන බලවේගයේ ජාතික ලැයිස්තුව යටතේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් නොකරන බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කළේ.
මේ අතර, සමගි ජන බලවේගය නියෝජනය කරන සියළු පක්ෂ නායකයින් අද විශේෂ සාකච්ඡාවක් සිදුකිරීමට නියමිතව තිබෙනවා.
ඒ අනුව එහිදී මෙම ජාතික ලැයිස්තු පිළිබඳ තවදුරටත් සාකච්ඡා සිදුවන බවයි හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී මනෝ ගනේෂන් සඳහන් කළේ.
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ, ඉලංගෙයි තමිල් අරසු පක්ෂය සහ අකිල - ඉලංගෙයි තමිල් කොංග්‍රසය යන පක්ෂවල ජාතික ලැයිස්තු මන්ත්‍රීවරුන් 19 දෙනෙකුගේ නම් ඇතුළත් ගැසට් නිවේදනය ඊයේ රාත්‍රියේ නිකුත් කෙරුණා.
Share This Article