අංගොඩ ලොක්කා බලෙන් ගත්, බස්නාහිර පළාතේ පර්චස් 928ක ඉඩම් ගැන තොරතුරු
Monday, 10 August 2020 - 20:58 | Views - 1,467

ඉන්දියාවේදී මියගොස් ඇති බවට වාර්තා පළ වන මද්දුමගේ චන්දන ලසන්ත පෙරේරා හෙවත් අංගොඩ ලොක්කාට අයත් බව කියන තවත් දේපළ රැසක තොරතුරු පොලීසිය විසින් අනාවරණ කරගෙන තිබෙනවා.
ඒ අනුව අයථා ලෙස උපයා ගත් රුපියල් කෝටි 50කට අධික දේපළ, ඔහු විසින් බලහත්කාරයෙන් අත්පත් කර ගන්නා ලද කොළඹ ප්‍රදේශයේ පර්චස් 928ක ඉඩම් සහ රථ වාහන කිහිපයක් ද සොයාගෙන ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ජාලිය සේනාරත්න කොළඹ අද පැවති මාධ්‍ය හමුවකදී සඳහන් කළේ.
මේ අතර, හෙරොයින් සමඟ හෝකන්දර - සිංහපුර ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් පුද්ගලයෙකුගේ බැංකු ගිණුමකට වසරක් තුළ දී රුපියල් කෝටි 18කට වැඩි මුදලක් හුවමාරුවීම සම්බන්ධයෙන් පොලීසිය විශේෂ විමර්ශනයක් ආරම්භ කර තිබෙනවා.
හෙරොයින් ග්‍රෑම් 25ක් සහ රුපියල් ලක්ෂ 5ක මුදලක් සමඟ මෙම සැකකරු අද පෙරවරුවේ අත්අඩංගුවට ගෙන ඇත්තේ තලංගම පොලීසියේ දූෂණ මර්දන ඒකකයේ නිලධාරීන් විසින්.
එමෙන්ම, මත්ද්‍රව්‍ය ජාවාරමේ නිරත තොටළඟ කුට්ටි හෙවත් කුමාරි සත්‍යප්‍රියා නැමති කාන්තාව අද මත්ද්‍රව්‍ය සමඟින් අත්අඩංගුවට ගනු ලැබුවා.
කොළඹ 14, මාදම්පිටිය පාර ප්‍රදේශයේ පදිංචි 28 හැවිරිදි මෙම කාන්තාව මෝදර පොලිසීයේ නිලධාරින් කණ්ඩායමක් සිදුකළ වැටලීමකදී අත්අඩංගුවට ගනු ලැබුවේ හෙරොයින් ග්‍රෑම් 20 ක් ද සමගයි.
එමෙන්ම, හෙරොයින් ජාවාරමෙන් උපයා ගත් රුපියල් දෙලක්ෂ 42,000 ක මුදලක් හා රත්‍රං ග්‍රෑම් 275ක් ද ඇය සතුව තිබී පොලීසිය භාරයට ගෙන තිබෙනවා.
මේ අතර, ගිනි අවි දෙකක් සමඟ සැකකරුවන් දෙදෙනෙකු මතුගම - යටදොළවත්ත ප්‍රදේශයේදී අද පොලීිසිය අත්අඩංගුවට ගනු ලැබුවා.
අත්අඩංගුවට ගත් එක් සැකකරුවෙකු දොඩංගොඩ ලියනගේ ශාන් අරෝෂ් ජයසිංහ හෙවත් මතුගම ශාන් නැමති සංවිධානාත්මක අපරාධකරුගේ ගෝලයෙකු බවට හඳුනාගෙන ඇති බවයි පොලීසිය පැවසුවේ.
43 හැවිරිදි ඔහු සතුව තිබී බ්රවුනි මූව් වර්ගයේ පිස්තෝල අවියක් සහ මැගසින් එකක් සොයාගෙන තිබෙනවා.
එසේම එම ප්‍රදේශයේම 32 හැවිරිදි තවත් පුද්ගලයෙකු සතුව තිබී මිලිමීටර 2.2 වර්ගයේ රිවෝල්වරයක් සහ එම උණ්ඩ 5 ක් ද සොයාගනු ලැබුවා.
Share This Article